2500 මාර යුද්ධය..

2500 මාර යුද්ධය..

1956 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සිදුවෙමින් තිබෙන අතරතුර රට පුරා ම එක්තරා පෝස්ටරයක් ඇලවෙන්නට විය. එම පෝස්ටරයේ ඇතුළත් වී තිබුණේ කාටුන් චිත්‍රයකි. එහි උඩින් ම “2500 මාර යුද්ධය” කියා සඳහන් වී තිබිණි.

එක්සත් භික්ෂු පෙරමුණට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා විසින් නිර්මාණය කරන ලද බව කියැවෙන මෙම පෝස්ටරයෙහි අන්තර්ගත වී තිබුණේ මෙවැනි අර්ථයක් ප්‍රකාශ කෙරෙන කාටුන් චිත්‍රයකි.

පෝස්ටරයෙහි වම් පස බෝධියක් මුල වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවකි. චිත්‍රයේ දකුණු පැත්ත වෙන් කෙරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ වන ඇතා පිට නැග ගත් ජෝන් කොතලාවල මැතිතුමන් පෙරටු කරගත් පෙරහැරකට ය. කොතලාවල මහතා බුදු පිළිමය ඉලක්ක කරගත් කුන්තයක් දරාගෙන සිටියි. අලියා පිට ඔහුට පිටුපසින් සිටින්නේ කොතලාවල මහතාට සිටියේ යැයි කියන යෙහෙළියන්ගෙන් එකියකි. ඇතාට පිටුපසින් සිටින බාල් නටන්නෝ ෂැම්පේන් බොති. තවත් සමහරු මුදල් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පැත්ත ගත් බවට චෝදනා එල්ල වී තිබුණු පුවත්පත් වනමින් සිටිති. තමන් විසින් ම වසු පැටියෙකු මරා මස් කළ බව වරක් අගමැති කොතලාවල මහතා ප්‍රසිද්ධියේ පවසා තිබිණි. පෝස්ටරයේ ඉදිරිපසින් මළ වහු පැටවකු සහිත කරත්තයක් ඇඳ ඇත්තේ එම කාරණය නිරූපණය කිරීමට ය. ඇමෙරිකානු මුදල් හිමියෝ කිහිප දෙනෙක් විශාල ඩොලර් සලකුණු ඔසවා ගෙන ඇතාට දකුණු පසින් ගමන් කරන බවක් ද දැකගත හැකි ය.

මෙම පෝස්ටරයෙන් ඉතා ප්‍රබල දේශපාලන පණිවිඩයක් ජනතාවට සන්නිවේදනය විය. සන්නිවේදනය යනු වචන පමණක් යැයි සිතා සිටින වර්තමාන දේශපාලන සන්නිවේදකයන් හට මෙය ඉතා අගනා පාඩමකි.

Facebook Comments