20 වන සියවසේ බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනය

20 වන සියවසේ බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනය

1961 ජූලි 8 වන දා එංගලන්තයේ බකිංහැම්‍ෂයර් කෝරළයේ ක්ලිව්ඩන් වතුයායේ නිවෙසක​ පිහිනුම් තටාකය අසල සාදයක් පැවෙත්වෙමින් තිබුණි. මෙම වතුයායේ අයිතිකරු වූයේ ඇස්ටර් සාමිවරයා යි. ඔහු එම සාදය පැවැත්වෙන ස්ථානයට තම අමුත්තන් කිහිප දෙනෙකු සමග පැමිණෙමින් සිටියහ. සාදය දෙසින් පැමිණි ප්‍රීතියෙන් සිනහසෙන හඬ කියා සිටියේ එහි ඉතා විනෝදජනක සැඳෑ එකමුතුවක් පැවැත්වෙමින් තිබුණ​ බව යි.

ඇස්ටර් සාමි සිය අමුත්තන් සමග පිහිනුම් තටාකය අසලට පැමිණෙද්දී ඔවුන් දුටුවේ එහි ස්නානය කරමින් සිටි තරුණියක නිරුවතින් එයින් පිටතට එන අයුරු යි. අමුත්තන් දැක ඇය කලබලව සිය නාන ඇඳුම සොයද්දී ඇය සමග සිටියවුන් එය ඇගෙන් ඈතට විසි කළහ. ඇය එය අල්ලා ගැනීමට දිව යන අතර අසල වූ තුවායක් රැගෙන සිරුර වසාගත්තාය.

කීලර් සුඛෝපභෝගී දිවියකට ප්‍රිය කළාය

එදින සවස එම විහිළුව හේතුවෙන් සිනහ වෙමින් විනෝද වූ පිරිසගෙන් කවරකුවත්, එම සිදුවීම 20 වන සියවසෙහි බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනයෙහි පළමු ජවනිකාව බව සිතන්නට නැතිව ඇත.

එදින සවස ඇස්ටර් සාමි සමග පැමිණි අමුත්තන් අතුරින් අයෙකු වූයේ එවකට බ්‍රිතාන්‍ය යුධ ලේකම් ජෝන් ප්‍රොෆියුමෝ යි. පිහිණුම් තටාකය අසල වූ සාදය සංවිධානය කර තිබුණේ අස්ථි චිකිත්සකයකු වූ ස්ටීවන් වෝර්ඩ් විසිනි. වෝර්ඩ්ගේ සේවය ඇස්ටර් සාමි විසින් ලබාගෙන තිබුණ අතර ඊට කලගුණ සැලකීමක් ලෙස තම වත්තෙහි නිවෙසක් භාවිතා කිරීමට ඔහු විසින් වෝර්ඩ්ට ඉඩ දී තිබුණි. නාටිකාංගනාවක වූ කීලර් එම සාදයට ගෙන්වාගෙන තිබුණේ වෝර්ඩ් විසිනි.

1961 ජූලි මාසයේ ක්‍රිස්ටීන් හමුවී ඇය පිළිබඳ උනන්දුවක් ඇති කරගත් ප්‍රොෆියුමෝ ස්වල්ප දිනෙකින් නැවත ඇය සමග සබඳතාවක් ඇති කරගැනීමට සමත් විය. ඔවුන් අතර වූ සම්බන්ධය සැබවින්ම වැඩි කලක් පැවතියේ නැත. ඇතැමුන් විශ්වාස කරන පරිදි එය සති කිහිපයකින් නිම වූ අතර උපරිම වශයෙන් දෙසැම්බරය දක්වා එම සම්බන්ධය පවතින්නට ඇත.

ප්‍රොෆියුමෝගේ මේ සම්බන්ධය පුද්ගලික කරුණකට වඩා එහා නොයන්නට ඕනෑ තරම් ඉඩ තිබුණි. නමුත් එසේ නොවූයේ, ජූලි මාසයේ පැවති සාදයට වෝර්ඩ්ගේ අමුත්තකු ලෙස සෝවියට් තානාපති නිලධාරියකු වූ යෙව්ගිනි ඉවනොෆ් ද සහභාගී වීම නිසාවෙනි.

ජෝන් ප්‍රොෆියුමෝ

කොන්සර්වේටිව් පාක්ෂිකයකු වූ ජෝන් ප්‍රොෆියුමෝ 1940 දී අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ විය. එහෙයින් ඔහු එම පාර්ලිමේන්තුවේ ලබාලම මන්ත්‍රීවරයා බවට පත්විය. දෙවන ලෝක යුධ සමයේ දී රාජකීය යුධ හමුදාවෙහි සේවය කළ ඔහු 1944 දී නෝර්මැන්ඩි ගොඩබැසීමට ද සහභාගී වූවෙකි. 1945 දී ඔහු නැවත මැතිවරණයට ඉදිරිපත් වුව ද එවර ඔහු කම්කරු පක්ෂ අපේක්ෂකයකුට පරාජය වීමට සිදුවිය. ප්‍රොෆියුමෝ නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1950 දී ය. 1951 දී කොන්සර්වේටිව් පක්ෂය බලයට පත් වූ පසු ඔහුට පාර්ලිමේන්තුවෙහි ප්‍රකට මන්ත්‍රීවරයකු බවට පත්වීමට හැකිවිය. ඒ අනුව 1960 දී ඔහු යුධ කටයුතු පිළිබඳ ලේකම් ධුරයට පත් කෙරුණි.

ප්‍රොෆියුමෝ සහ වැලේරි හොබ්සන්
ප්‍රොෆියුමෝ සහ වැලේරි හොබ්සන්

ප්‍රොෆියුමෝ හිටපු නිළියක වූ වැලේරි හොබ්සන් සමග 1954 දී විවාහ ගිවිස ගත්තේය. ඔවුන්ට 1955 දී පුතෙකු ලැබුණු අතර ඩේවිඩ් ප්‍රොෆියුමෝ නම් වන ඔහු නවකතාකරුවෙකි. වැලේරිගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටියය.

රාජ්‍ය රහස්

මෙකල බ්‍රිතාන්‍යයේ හැරල්ඩ් මැක්මිලන්ගේ රජය රාජ්‍ය රහස් පිටවීම පිළිබඳ ආන්දෝලනයන් කිහිපයකටම මුහුණ දෙමින් සිටියේය. මේ අතර 1962 ඔක්තෝබරයේ දී කියුබානු මිසයිල අර්බුදය හේතුවෙන් ඇමරිකාව සහ සෝවියට් දේශය යුධ වදිනු ඇතැ යි යන අවදානමක් ද ඇති විය.

රාජ්‍ය රහස් පිළිබඳ රජය විවේචනය කරන්නන් අතර පෙරමුණේ සිටියේ ජෝර්ජ් විග් නම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරයා යි. 1962 නොවැම්බර් 11 වන දා විග්ට අභිරහස් දුරකතන ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ ඔහු අනෙකුත් සිද්ධීන් පසෙකලා ප්‍රොෆියුමෝ පිළිබඳ සෙවිය යුතු බව යි. මෙම ඇමතුම කවරෙකු විසින් ලබාදුන්නේදැ යි හෙළිදරව් වූයේ නැත. ඇතැමුන් විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය රජය තුළ අර්බුදයක් ඇති කිරීම සඳහා රුසියානු ඒජන්තයකුම මෙසේ ඇමතීමක් ලබා දෙන්නට ඇති බව යි.

විග් සහ ඔහුගේ සහචරයින් ප්‍රොෆියුමෝ පිළිබඳ හාරා ඇවිස්සීමට පටන් ගත්හ. කීලර් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඒ අනුව ඔවුන් සමත් විය.

ක්‍රිස්ටියන් කීලර් 1963දී

ප්‍රොෆියුමෝ හඳුනාගෙන ටික කලකට පසු කීලර් බටහිර ඉන්දීය දූපත්වලින් පැමිණි සංගීතකරුවකු වූ ගෝර්ඩන් නමැත්තා සමග සබඳතාවක් ඇතිකර ගත්තාය. නමුත් එය ද වැඩිකල් පැවතියේ නැත. කීලර් පවසන පරිදි ඔහු විටෙක ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇත. ඇය ඔහු හැරගොස් තවත් බටහිර ඉන්දීය දූපත් වාසියකු සහ හිටපු නාවිකයකු වූ ජොනී එජ්කෝම් සමග සබඳතාවක් ඇතිකර ගත්තාය. එහි ප්‍රතිඵලය ලෙස ගෝර්ඩන් සහ එජ්කෝම් අතර ගැටුමක් ඇති වූ අතර එහිදී ගෝර්ඩන් තුවාල ලැබීය.

එජ්කෝම් ද ප්‍රචණ්ඩ අයුරින් හැසිරුණ හෙයින් කීලර් ඔහු ද හැරගියාය. ඇයව මුණගැසීමට ඇය සිටි නිවසට පැමිණි ඔහු, ඊට අවසර නොලද තැන එම නිවස වෙත වෙඩි තැබුවේය. මෙම සිද්ධියෙන් ස්වල්ප කලකට පසු කීලර් තම පැරණි සබඳතා පිළිබඳ යම් යම් අය සමග පවසා තිබුණි. ඒ අනුව කම්කරු පක්ෂ මන්ත්‍රී විග්ට මේ පිළිබඳ දැනගැනීමට ලැබුණි.

කීලර් සමග ප්‍රොෆියුමෝ සහ ඉවානොෆ් යන දෙදෙනාම සබඳතා පවත්වාගන ගිය බවට සැක පළවීමත් සමග කීලර් හරහා ඉවානොෆ් රාජ්‍ය රහස් ලබාගත්තේදැ යි සැක මතුවීමට පටන් ගත්තේය.

මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව ඇරඹුණි. එහි ප්‍රධාන සාක්කිකාරියක වූ කීලර් අධිකරණයට පැමිණියේ නැත. මේ අතර ප්‍රොෆියුමෝ පිළිබඳ කටකතා ද පැතිරෙමින් තිබුණි. කීලර්ගේ අතුරුදහන්වීම සමග මේ කටකතා තවත් පැතිරෙන්නට පටන් ගත්තේය.

නමුත් ඇත්ත වශයෙන්ම ඇය ස්පාඤ්ඤය වෙත ගොස් සිටියාය. එහි සිට ඇය තම කතාව පුවත්පතකට පැවසුවාය. කම්කරු පක්ෂය මේ පිළිබඳ කුමක් කරන්නේදැ යි විවාද කරන අතර 1963 මාර්තු 21 වන දා විග් පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ප්‍රශ්නයක් නැගීමත් සමග මෙම ආන්දෝලනය පුපුරා ගියේය.

එවක සිටි සරාගීම කාන්තාවක් ලෙස කීලර් ප්‍රචලිත විය

විග් විසින් ප්‍රශ්නය නගන ලද්දේ ස්වදේශ කටයුතු ලේකම් හෙන්රි බෘක් වෙතින්. බෘක් මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැත. ප්‍රොෆියුමෝ ද එවන් සම්බන්ධයක් තමා හා කීලර් අතර නොවූ බව කියා සිටියේය.

මේ අතර වෝර්ඩ්ගේ කටයුතු පිළිබඳ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කළහ. කීලර්ගෙන් ද ප්‍රශ්න කරන ලද අතර ඇය ප්‍රොෆියුමෝ පිළිබඳ වූ සබඳතා පිළිබඳ කියා සිටියාය. ඔහු විශාල ආදායමක් ලබාගත්තේ කෙසේ ද යන ප්‍රශ්නයද මෙහිදී විමසනු ලැබූ අතර දිනෙන් දින ප්‍රොෆියුමෝ වටලමින් කරුණු ගොඩනැගෙන්නට විය.

ජූනි 5 වනදා ප්‍රොෆියුමෝ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඉන් දින තුනකට පසු වෝර්ඩ්ව අශීලාචාර ලෙස මුදල් ඉපයීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනුණි. මේ අතර බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය ද දරුණු ලෙස ප්‍රොෆියුමෝට සහ වෝර්ඩ්ට පහර දෙන්න පටන් ගෙන තිබුණි. වෝර්ඩ් යනු ලිංගික දඩයම්කරුවකු බවත් ඔහු සෝවියට් දේශයෙන් මුදල් ලබාගත් බවත් මතයක් ඒ අනුව ගොඩනැගුණි.

වෝර්ඩ්ට එරෙහි නඩු විභාගය අතර ඔහු නිදිපෙති විශාල ප්‍රමාණයක් ගෙන දිවි නසාගත්තේය. මේ අතර ප්‍රොෆියුමෝ දේශපාලනයෙන් ඉවත්ව ගියේය. ඩෙනිංග් සාමි විසින් කළ පරීක්ෂණයකින් පසු ප්‍රොෆියුමෝ රාජ්‍ය රහස් පිට නොකළ බව නිගමනය කෙරුණි. ප්‍රොෆියුමෝ ඉන්පසු පුණ්‍ය කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළේය.

අගමැති හැරල්ඩ් මැක්මිලන් 1963 ඔක්තෝබරයේ දී රෝගී වීම හේතුවෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුයේය. ඉන් වසරකට පසු පැවති මැතිවරණයේ දී 13 වසරක් පැවති කොන්සර්වේටිව් පාලනය බිඳ වැටුණි. එම මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රොෆියුමෝ සිද්ධිය ද දැඩිව බලපෑ බව විශ්වාස කෙරේ.

කීලර්ගේ ආන්දෝලනාත්මක පින්තූරයක්
Facebook Comments