19 වැනි සංශෝධනය පිළිබඳ සංවාදයට පෙර පළමු ජනරජ ව්‍යවස්ථාව හා කොල්වින් ආර්. ද සිල්වා ගැන දැනගමු

19 වැනි සංශෝධනය පිළිබඳ සංවාදයට පෙර පළමු ජනරජ ව්‍යවස්ථාව හා කොල්වින් ආර්. ද සිල්වා ගැන දැනගමු

ශ්‍රී ලංකා ජනරජ දිනය මැයි මස 22 වැනිදාට යෙදී තිබුණි. 1972 මැයි 22 වන දින මෙරටට එතෙක් භාවිතා කරන ලද ලංකා නාමය වෙනුවට “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” යන නාමය භාවිතයට ගැනීමට ආරම්භ විය. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කර සම්මත කරගත් අතර, ඒ හේතුවෙන් මෙතෙක් කලක් ලංකා අධිකරණයේ අවසන් තීන්දුවක් බ්‍රිතාන්‍ය ප්‍රිව් කවුන්සලයෙන් අභියෝගයට ලක් කිරීමේ හැකියාව ඉවත් වී ගියේය.

සිරිමාවෝ ආණ්ඩුව මඟින් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අතර, 1978 වසරේ ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගත්තේය. වර්තමානය වන විට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන 19ක් සම්මත කරගෙන තිබේ. ඊට අමතරව වර්තමාන ආණ්ඩුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් විසින් තෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් ද ඉදිරිපත් කර තිබේ. මීට දින කිහිපයකට පෙර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට වත්මන් ව්‍යවස්ථාව පිළිබඳව විශාල කතිකාවතක්ද සමාජයේ ඇති වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව කතා කරන විට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධාන තැනක් ගන්නා අතර 1972 වසරේ එය සම්පාදනය කිරීමට මූලිකව කටයුතු කළ වාමාංශික නායකයෙක් පිළිබඳව මේ ලිපිය ගෙන ඒමට අප අදහස් කරන්නෙමු. ඔහු ලංකාවේ ප්‍රථම දේශපාලනික පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. එසේම වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, හා නීතිඥයෙකු ද වෙයි. ඒ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යි.

ආචාර්ය උපාධිය දක්වා

1907 වසරේ බලපිටියේ ප්‍රභූ පවුලක උපත ලබන කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා සිය මූලික අධ්‍යාපනය ලබන්නේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබන ඔහු තම නීති අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයයට ඇතුළත් වෙයි. අනතුරුව තම ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යන තරුණ කොල්වින් ලන්ඩනයේ රාජකීය උසස් අධ්‍යාපන ආයතනයෙන් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

ඉන්දියාවට යාම හා ලංකා සමසමාජ පක්ෂයට එකතු වීම

සිරිමාවෝ සමඟ කොල්වින්

ලංකාවට පැමිණි පසුව එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් කොල්වින් ඇතුළු උගත් ප්‍රගතිශීලි තරුණයන් කිහිපදෙනෙක් සිර ගත කළහ. ඒ එම කාලයේ පැවති දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය ක්‍රියාපටිපාටියට විරුද්ධව අදහස් දැක්වීම හේතුවෙනි. සිරගත කර සිටින සමයේ බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යන ඔහු ඉන් අනතුරුව ඉන්දියාව වෙත පලා යාමට සමත් විය.

ඉන්දියාවේදී ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය හා සම්බන්ධකම් පවත්වන ඔහු පසුව ලංකාවට පැමිණීමෙන් පසුව එම ඉන්දියානු පක්ෂයේ ශ්‍රී ලංකා ශාඛාවේ නායකයා ලෙස කටයුතු කටයුතු කිරීම ආරම්භ කළේය. එය හඳුන්වන්නේ බොල්ෂෙවික් සමසමාජ පක්ෂය (Bolshevik Samasamaja Party) ලෙස යි. බොල්ෂෙවික් සමසමාජ පක්ෂය 1947 මහා මැතිවරණයට ඉදිරිපත්වෙන අතර එම පක්ෂය මහා මැතිවරණයෙන් ආසන පහක් දිනාගනිමින් පස්වන ස්ථානයට පත්වීමට හැකි විය. 1947 වසරේ දී පැවති මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වෙන කොල්වින් ආර් ද සිල්වාගේ පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය එකට එකතු වෙන අතර ඉන්පසුව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් ලෙස ඔහු කටයුතු කිරීමට පටන් ගත්තේය.

තුන්කල් දුටු ප්‍රාඥයෙක් ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දුන් කොල්වින් ආර්. ද සිල්වා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අනාගතයේ දී රටේ ඇතිවිය හැකි අඳුරු හා අර්බුදකාරී තත්ත්වය මනා ලෙස පැහැදිලි කර තිබුණි.

පළමු ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කිරීම

පිලිප්,කොල්වින් හා ඇන්.ඇම්

1970 වසරේ දී බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩු සමයේ මෙරට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට මූලිකව කටයුතු කරන්නේ එවකට සිරිමාවෝ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළ කොල්වින් ආර්. ද සිල්වා යි. ඒ අනුව 1972 වසරේ මැයි 22 වන දින එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම නිදහස ලබා ජනරජයක් බවට පත් වුයේය.

1975 වසරේ දී සමගි පෙරමුණේ සිටි ලංකා සමසමාජ පක්ෂයේ ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහු ඇතුළු සමසමාජ පක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළහ. 1977 වසරේ පැවති මහ මැතිවරණයේ දී ඔහුට ඔහුගේ පාර්ලිමේන්තු අසුන ද අහිමි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණයේ දී සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යි. ඒ එතෙක් සමසමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ආචාර්ය එන්. එම්. පෙරේරා මරණයට පත්වීමෙන් පක්ෂ නායකත්වය කොල්වින්ට හිමි වීම හේතුවෙනි.

ජනාධිපතිවරණයේ දී ඔහු පස්වන ස්ථානය ලබාගැනීමට සමත් වූ අතර ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරණය ජය ගත්තේය. නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව දෙවන ස්ථානයත්, ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක රෝහණ විජේවීර තෙවන ස්ථානයත්, දෙමළ කොන්ග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් හතරවන ස්ථානය ලබා ගත්හ. කොල්වින්ට ලැබී තිබුණු ජන්ද ප්‍රතිශතය 1%ත් වඩා අඩු අගයක් වූ අතර ලංකා සමසමාජ පක්ෂය කෙරෙහි තිබූ ජනතා ප්‍රසාදය ක්‍රමක්‍රමයෙන් නැති වී ගොස් ඇති බව මේ ප්‍රතිඵල තුළින් තහවුරු වෙයි.

නැවතත් පාර්ලිමේන්තුවට

කොල්වින් තම පක්ෂ සාමාජිකයන් සමඟ (Daily FT)

1987 වසරේ දී එවකට ජනාධිපති ජයවර්ධන විසින් මැයි දින පෙළපාලි තහනමක් පැනවූ අතර ඊට විරුද්ධව උද්ඝෝෂණයකට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර හමුවේ කොල්වින්ගේ පාදයක් දරුණු ලෙස පිළිස්සී ගියේ ඔහුගේ දිවියේ අවසාන කාලයේ පෙරමං සලකුණු කරමිණි.

සමසමාජ පක්ෂය හා තවත් වාමාංශික පක්ෂ දෙකක් එකතු වී 1988 වසරේ දී එක්සත් සමාජවාදී හවුලක් ගොඩනැගු අතර එම පක්ෂයෙන් කොල්වින්ට ජාතික ලැයිස්තු අසුනක්ද හිමි විය. එහෙත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමටත් පෙර 1989 පෙබරවාරි 07 වැනිදා මෙලොවින් සදහටම සමුගත්තේය.

දේශපාලඥයෙකුට අමතරව දක්ෂ නීතිවේදියෙක් ලෙස නමක් දිනා තිබූ කොල්වින් ආර් ද සිල්වා සතාසිවම් නඩුව වැනි ආන්දෝලනාත්මක නඩු කිහිපයක දී තම සේවාදායකගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කර තිබේ.

Wikipedia හා Daily Mirror ඇසුරෙනි

Facebook Comments