ෆැසිස්ට්වාදය යනු කුමක්ද?

ෆැසිස්ට්වාදය යනු කුමක්ද?

ෆැසිස්ට්වාදය යනු දර්ශනයකට හෝ න්‍යායකට වඩා ප්‍රායෝගික ක්‍රියාවලියක් නැතිනම් පුද්ගල අදහස් වල එකතුවක් ලෙස හැඳින් විය හැක. එය ලිබරල්වාදයට හෝ සමාජවාදයට හාත්පසින්ම වෙනස් වූ චින්තන දහරාවකි. ෆැසිස්ට්වාදය තුළ සමාජවාදයේ සඳහන් සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවයත්; ලිබරල්වාදයේ සඳහන් පුද්ගල නිදහසත් යන මූලිකාංග ද්විත්වයම ප්‍රතික්ෂේප කරයි. මෙහි සඳහන් ප්‍රධානතම න්‍යායක් වන්නේ ආක්‍රමණශීලී ජාතිවාදය යි.

20 වැනි සියව‍සේ මැද භාගය තුළ ජර්මනිය, ඉතාලිය, ස්පාඥ්ඥය හා ජපානය වැනි රටවල් වල මෙම මතවාදය ක්‍රියාත්මක විය. ෆැසිස්ට්වාදය බිහි වීමට ප්‍රධාන වශයෙන් ෆෙඩ්‍රික් නිටිෂේ, හෙගල්, ඛාන්ට් වැනි විඥ්ඥාණවාදී චින්තකයන්ගේ ජාතිවාදී, බලවාදී හා බුද්ධි විරෝධී අදහස් මූලික විය.

හර්බටි මාකියුස් නම් මාක්ස්වාදී චින්තකයා විසින් ෆැසිස්ට්වාදය හඳුන්වනු ලබන්නේ “ලිබරල්වාදයේ නිෂේධනය” ලෙසටය. එනම් ධනවාදයේ  අහෝසි වීම තුළ ෆැසිස්ට්වාදය බිහි වන බවයි. එනම් මෙම මතවාද ද්විත්වයම එකම මූලයකින් ආරම්භ වන බව සමාජවාදීන්ගේ මතයයි. ධනවාදී ආර්ථිකය ඒකාධිකාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස ෆැසිස්ට්වාදය බිහි වන බව ඔවුනගේ මතයයි.

1 වන ලෝක යුද්ධයෙන් පසුව බිදවැටුණු යුරෝපා ආර්ථිකය නැවත ගොඩනැංවීමට ලිබරල්වාදය අපොහොසත් වීම තුළ වාමාංශික හා උග්‍ර දක්ෂිණාංශික (ෆැසිස්ට්වාදී) චින්තන දහරාවක් යුරෝපය පුරා හඹා යන්නට විය. යුද්ධයෙන් පරාජය වු ජර්මනිය ඇතුළු රාජ්‍යයන් වලට යුද්ධයෙන් සිදු වු අලාභයට අමතරව යුධ වන්දි ද ගෙවීමට සිදු වු නිසා එම රටවල් උග්‍ර ආර්ථික අර්බුදයකය මූහුණදෙන ලදී. මෙම වකවානුව තුළ ජර්මනිය,ඉතාලිය හා තවත් රටවල් කීපයකම ෆැසිස්ට්වාදී පාලකයන් බිහි විය. ඔවුනගේ දැඩි ජාතිකවාදී අදහස් හා සංවර්ධන වැඩපිළිවෙල යුද්ධයෙන් පීඩිත වු ජනතාව කුල්මත් කරවන්නක් විය.

Fascism යන ඉංග්‍රීසි වචනය fascico යන ලතින් වචනයෙන් නිපන් වචනයක් වන අතර එහි අරුත  “එක්සත් බව හා ශක්තිය” යන්න යි. ෆැසිස්ට්වාදයේ සංකේතය වන්නේ පැරණි රෝම අධිරාජ්‍යයයේ සංකේතය වූ ‘පොරොව හා දරමිටිය’ යි.

Facebook Comments