සිල්ගත් කොකාගේ පුවත

සිල්ගත් කොකාගේ පුවත

ඉස්සර කාලේ ගෙම්බන්ට රජෙක් නොවීය. හැම මනුස්ස ගෝත්‍රයකටම ගෙම්බන් වාගේ ලාස් ගණන් පුරවන්නට නායකයින් සහ රජවරුන් සිටිනු දුටු ගෙම්බෝ ද සියුස් දෙවියන් කරා ගොස්, රජෙකු ඉල්ලා සිටියහ.

නා නා මාදිලියේ නායකයින්, රජවරුන් මවා හෙම්බත් වී සිටි සියුස් දෙවියා ලී කොටයක් පෙන්වා “මේ ඔබේ රජුයැ” කීවේය. ටික දිනකින් ම තමුන්ගේ රජුගේ ස්වභාවය වටහා ගත් ගෙම්බෝ රජු මතට ද ඔහුගේ කර උඩින් ද පනිමින් කොලොප්පමට ගෙන නටන්නට වන්හ. මෙම ක්‍රීඩාවෙන් වෙහෙසුණු ඔවුහු නැවත දෙවියන් වෙත ගොස් රජෙකු ඉල්ලා සිටියහ.

ඉක්බිති සියුස් දෙවියා, නාඩ මාන කොකෙකු මවා විල වෙත එවීය. එම කොකා අද වනතුරුම විලේ නායකත්වය ගනිමින් ගෙම්බන් ගිලියි. මෙය ඊසෝප්ගේ එක් මෝඩ උපමා කතාවකි.

මේ කතාවෙන් අපට ගත හැකි මෝඩ අදහස කුමක්ද? මහජනයා කවදත් අහිංසක පාලකයන්ට කැමැත්තක් නොදැක්වූ බවයි. ඔවුනට අවශ්‍ය වන්නේ කරේ නැගිය හැකි නායකයන් නොවේ. තමන්ව ශාරීරිකව උනත් ගිල සාරය උරා බීමට බලා සිටින මාන කොකුන් වැනි නායකයන් බවයි.

ඒ නිසා ජනතාවගේ රීරි මාංසය උරා බීමෙහි සමත්කම් ඇති කෙනෙකුන් හැර අන් අය නායකත්වය නොපැතිය යුතුය. කෙනෙකු දේශපාලනඥයෙකු වශයෙන් සාර්ථක වන තරමට ඉහත කී මාන කොකාගේ මහඟු ගුණ සමුදායෙන් ද ආඪ්‍ය වන්නේ ය.

පාලකයන් සහ පාලිතයන් අතර සම්බන්ධය, ගෙම්බන් හා කොකුන් අතර පවතින සම්බන්ධයක් වැනි විය යුතුය යන්න ගෙම්බන් විසින් ම ඉල්ලා සිටිනු ලබන්නා වූ ‘මානව’ අයිතිවාසිකමකි.නමුත් මෙහිදී මාන කොකාගේ එක් සිරිතක් අපගේ අවධානයට ගත යුතු වෙයි.

ඔහු හුදෙකලාව ගෙඹි පැටව් අනුභව නොකරයි. ඔහු විලට එන්නේ තමාගේ රැහේ අනෙකුන් ද සමග ය. ඔහු තමාගේ පවුලේ අය සමග බෙදා හදාගෙන කන්නේ ය. අනෙක් සිරිත නම් ගෙම්බන් ගිලීම ඌරන් කැකුණ තලන්නා සේ නොකරන බවයි.

ඔහු දිහා බැලු බැල්මට සිල් ගත්තෙකු සේ සුදට සුදේ පෙනෙයි. ශාන්ත දාන්ත මුනිවතක් රකින්නා සේ එක පයින් ද සිට නිදා සිටින බවක් හඟවයි. ඔහු තම පය අසලින් ම යන ගෙම්බන් ඩැහැ ගන්නේ තවත් ගෙම්බෙකුට නොපෙනෙන පරිදි ය. සිල්ගත් කොකාගේ මෙම පිළිවෙත දේශපාලන නායකයෙකු වීමට පෙරුම් පුරන කවරෙකු වුවද මනාව හදාරා දැන සිටිය යුත්තේ ය.

සයිමන් නවගත්තේගම

Facebook Comments