ශානි අබේසේකරගේ ස්ථාන මාරුවට හේතුව කුමක්ද? එය සාධාරණ ද? – පළමු කොටස

ශානි අබේසේකරගේ ස්ථාන මාරුවට හේතුව කුමක්ද? එය සාධාරණ ද? – පළමු කොටස
ශානි අබේසේකර කරපු දේවල් කියවා එන්න

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 වැනිදා පැවැති අතර, 17 වැනිදා අවසන් ප්‍රතිඵල නිකුත් කරන ලදී. එයින් දින හතරකට පසුව, එනම් 21 වැනිදා, වැඩබලන පොලිස්පතිවරයා දුන් දුරකතන පණිවුඩයක් මගින්, ශානි අබේසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ඉවතට මාරුකර ඇති බව දන්වන ලදී. ඒ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර හැටියටය. එම දුරකතන පණිවුඩය මෙසේය.

‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ 2019.11.21. දිනැති අංක….. ලිපියේ සඳහන් අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ 2019.11.20 හා … අංකය දරන ලිපියෙ සඳහන් එකඟතාව අනුව පහත ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් නියෝග කරමි.

  1. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජීඑස් අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාසය වෙත (නිපොප ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස)

එම දුරකතන පණිවුඩයම අනුව, ඩබ්ලිව් තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත් අධ්‍යක්ෂවරයා හැටියට පත් කර තිබිණ. ඔහු ඊට පෙර පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා විය.

මෙය පොලිසියේ එදිනෙදා කරන සාමාන්‍ය ස්ථාන මාරුවක් නොවේ. එවැනි මාරුවක් ලැබෙන බවට කිසිම පූර්ව දැනුම්දීමක් ශානි අබේසේකරට ලැබී තිබුණේ නැත. එම ස්ථාන මාරුව සඳහා කිසිම හේතු දැක්වීමක් කෙරුණේද නැත. ඒ නිසා, අද වනතුරුත් පෙත්සම්කරු තමාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ කුමන හේතු නිසාදැයි නොදනියි. ඒ නිසා තවමත් එම ස්ථාන මාරුව හේතුවක් නොමැතිව කරන ලද්දක් හැටියට සැළකිය හැකිය.

කෙසේවෙතත්, තමාගේ නිල ලිපිගොනු හා ලේඛන අදාළ නිලධාරීන්ට ලබාදීමෙන් පසුව, නොවැම්බර් 25 වැනිදා ශානි අබේසේකර ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ රාජකාරි සඳහා වාර්තා කළේය.

පෙත්සම්කරු විසින් පසුගිය කාලයේ කරන ලද ඉතාම සංවේදී හා සංකීර්ණ අපරාධ පරීක්ෂන හේතුවෙන් ඔහුට ඇති ආරක්ෂාව පිළිබඳ අවදානම නිසා, 2008 දී පමණ, හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්, ශානි අබේසේකරගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරනු පිණිස, අංක කේඑක්ස් 5303 දරන අතිරේක වාහනය යොදවන ලදී. මීට අමතරව, ඔහු නිවසේ සිට කාර්යාලයටත්, කාර්යාලයේ සිට නිවසටත් යන එන අතරමග ආරක්ෂාව සපයන ලද අතර, රාත්‍රියේ ඔහුගේ නිවෙසට විශේෂ කාර්ය බලකායේ පොලිස් ආරක්ෂාව සපයා තිබිණ.

එහෙත් ශානි අබේසේකර ස්ථාන මාරු කළ දිනයේම ඒ සියලු ආරක්ෂක පියවර ඉවත් කර තිබිණ.

නොවැම්බර් 22 වැනිදා, තමාගේ ආරක්ෂාව සඳහා සපයා තිබුණු කේඑක්ස් 5303 දරන වාහනය ගාල්ලට ගෙනයාමට අවස්ථාව දෙන ලෙස ශානි අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගෙන් ඉල්ලීමක් කෙළේය. ඊට අවසර දෙමින් සෙනෙවිරත්න මහතා සිය නිර්දේශය වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කෙළේය. එහෙත් මේ වනතුරුම ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. පෙත්සම්කරුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ ඇති බිය එලෙසම පවතී.

පොලීසියේ මේ වන විට සිටින් 101ක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ශානි අබේසේකර සිටින්නේ 13 වැනි තැනය. ඒ 101ක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අතරින්, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පෞද්ගලික සහකාර හැටියට යොදවන ලද එකම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුය.

මතු සම්බන්ධයි.

Facebook Comments