ලෝක ඉතිහාසයේ දීර්ඝතම පාර්ලිමේන්තු නියෝජනය – මාතලෙන් බිහිවූ ලෝක වාර්තාව

ලෝක ඉතිහාසයේ දීර්ඝතම පාර්ලිමේන්තු නියෝජනය  – මාතලෙන් බිහිවූ ලෝක වාර්තාව

ලෝකයේ ඉතිහාසයේ දීර්ඝතම පාර්ලිමේන්තු පරපුර – බොහෝ දෙනා නොදන්නා කතාවක්. හැබැයි එය ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ කතාවක්. පරම්පරා පහක් අඛණ්ඩව ලංකා පාර්ලිමේන්තුව නියෝජනය, ලෝක වාර්තාවක් ද යන්න මේ දිනවල විමසා බැලෙනවා. මේ කථාව, මාතලේ විජේරත්න බණ්ඩා – කවිරත්න පවුලේ පාර්ලිමේන්තු පුරාවෘත්තයි.

ලග්ගල විජේරත්න බණ්ඩා ත්, රත්තොට කවිරත්න ත්, 1977 දී නාම යෝජනා බාරදෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන්ම මන්ත්‍රීවරු බවට පත්වුණා.

ලග්ගල විජේරත්න බණ්ඩා ගේ දුව රෝහිණී කුමාරි 2015 දී මාතලේ දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තු ගියා. රත්තොට පී.බී. කවිරත්නගේ පුතා සංජීව කවිරත්න 2001 දී මාතලේන්ම පාර්ලිමේන්තුවට ගියා. රෝහිණී විජේරත්න, කසාද බැන්දේ සංජීව කවිරත්නයි. ලංකා ඉතිහාසයේ කිසිම තැනක, තාත්තා පුතා, තාත්තා දුව, සහ ඒ දරුවෝ විවාහ වී, ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවක් ලංකා ඉතිහාසයේ නෑ. මේ වාර්තාවට කිට්ටු කරන්නට හෝ හැකියාව තියෙන්නේ අත්තනගල්ලේ බණ්ඩාරනායක පවුලේ විමුක්ති – යශෝධරා ගෙන් කවුරුහරි දේශපාලනයට පිවිසුනොත් විතරයි.

මේක රෝහිණී කවිරත්න සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් වෙන්නේ එහි පළමු පුරුක නිසයි. ඒ තමයි, රෝහිණී ගේ අත්තා, ඒ කියන්නේ අම්මාගේ පියා වූ මුතුබණ්ඩා, 1965 ලග්ගල ආසනයේ මන්ත්‍රීවරයා වීම. අත්තා, අප්පච්චි, මාමා, ස්වාමියා සහ බිරිඳ මහජනතාවගේ ඡන්දයෙන්, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පරම්පරා පහක්, මහජන මන්ත්‍රීවරු බවට පත් වූ තැනක් ලෝක ඉතිහාසයේ වෙන කිසිම තැනක වාර්තාවෙලා නෑ.

1960 මාර්තු – ලග්ගල ආසනය බිහිවෙයි

ලංකා මැතිවරණ සිතියමට ලග්ගල එකතු වුනේ 1960 මාර්තු ඡන්දයේ දී යි. එක්සත් ජාතික පක්ෂයේ මුතුබණ්ඩා, 1965 ලග්ගල ආසනය එජාපයට දිනා දෙනවා. තමන් ඇඳගෙන හිටපු සරම හැර අන් සියල්ල මිනිස්සුන්ට බෙදා දුන් නිසා ලග්ගල වෙස්සන්තර නම් පටබැඳුණු, මුතුබණ්ඩා ලග්ගල හිටපු ප්‍රසිද්ධම මැණික් පතල්කරුවා යි. අදත් විල්ගමුව හුස්ම ගන්න වතුර ටික ලැබෙන මිනිපේ ඇළ ඉදිවුණේ ඒ යුගයේ දී. ලංකාවේ දුෂ්කරම ආසනය, රාජ උදහසට ලක් වූ සහ වසංගත වලින් බේරෙන්න මිනිස්සු මහ කැළේ වැදුණු රාවණා පුරය ලග්ගල මහා පරිමාන වාරි කර්මාන්ත ඇරඹුනේ 1965 දී යි.

ඒකනායක මුදියන්සේලාගේ පහුරේගෙදර මුතුබණ්ඩා, නැත්තම් ලග්ගල වෙස්සන්තර ගේ දුව සුමනා පොඩිමැණිකේ යි. ඇය විවාහ වන්නේ, ජේ.පී. විජේරත්න බන්ඩා සමගයි. ඔහුත් එජාප දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්.

කිසි දවසක එජාපයට ජය ගත නොහැකි යැයි කියූ වාමාංශික බලකොටුවක් වූ ලග්ගල, 1977 ජූලි මැතිවරණයේ දී ජේ.පී. විජේරත්න බණ්ඩා දිනනවා. ඔහු ඡන්ද 13,649 ක් ලබන විට ශ්‍රීලනිපයේ එම්.සී.ගොපල්ලවට හිමිවන්නේ යන්තම් ඡන්ද 10,254 කි. එතැන් පටන්, අඛණ්ඩව 1994 දක්වා ලග්ගල හා මාතලේ මහජන මන්ත්‍රීවරයා වෙනවා. ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය, කෘෂි නිශ්පාදන හා අලෙවි කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ද වුණා.

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, දඹුල්ල හා රත්තොට කියල තවත් ආසන තුනක් තියෙනවා. 1977 මැතිවරණයෙන් ඡන්ද 22,513 ක් ලබා ආර්.එම්. පී.බී. කවිරත්න රත්තොට ආසනය දිනනවා. ඔහුගේ විරුද්ධවාදියා වූ, එස්.බී.යාලේගම ට හිමිවන්නේ යන්තම් ඡන්ද 10,478 කි. ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස රජයන්ගේ 1977-1994 දක්වාම රත්තොට/මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවිරත්න යි. ඔහු පෞද්ගලික ප්‍රවාහන නියෝජ්‍ය ඇමති, සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය තනතුරු දැරුවා.

මාතලේ හිරු – සදු එක විට පායයි

විජේරත්න බණ්ඩා පවුලේ ගැහුණු ළමයින් පස්දෙනාගෙන් සිව් වැන්නා වූ, උපන්දා සිට දේශපාලනය ඇගේ තිබූ, සුන්දර රෝහිණී කුමාරි, රස්නායක මුදියන්සේලාගේ සංජීව බණ්ඩාර කවිරත්න සමග විවාහ වෙනවා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා මේ විවාහය ගැන කීවේ අද මාතලේ ට හිරු – සදු එක විට පායනවා කියලයි. ඇත්ත, සංජීව එතැන් පටන් මිය යනතුරුම එක්කෝ පාර්ලිමේන්තුවේ ය. නැතිනම්, මධ්‍යම පළාත් සභාවේ මාතලේ දිස්ත්‍රික් මහජන නියෝජිතයා වූවේය. සංජීව මිය ගිය පසුව රෝහිණී කෙලින්ම පාර්ලිමේන්තුවේ ය.

පරිසරවේදියෙක්, මාධ්‍යෙව්දියෙක් වූ සංජීව, සුවිශේෂ දේශපාලනඥයෙක්. උඩරට, මාතලේ ප්‍රභු දේශපාලන ඔහු වෙනස් කළා. තමාගේ නිවසට වඩා පාක්ෂිකයින්ගේ ගෙවල්වල, මහතලාවේ කඳු, තැනි, වනාන්තරවල ගත කළ ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ ට විරුද්ධ පළමු කැරැල්ලේ සාමාජිකයෙක්. සංජීව කවිරත්න අකාලයේ මියයන්නේ දඹුල්ල එජාප සංවිධායක ලෙසින්, හෘදයාබාධයකින්.

සංජීව කවිරත්නගේ පමණක් නොව, විජේරත්න බණ්ඩාගේත් කැම්පේන් මැනේජර් වූනු රෝහිණී කවිරත්ත 2015 ජනාධිපතිවරණයට මාස කිහිපයකට ඉස්සර ලග්ගල එජාප සංවිධායක ලෙස පත් වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයත් දිනලා, පහසුවෙන් 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වෙනවා.

දේශපාලන පක්ෂ පාට කුමක් වුනත්, පරම්පරා පහක් අත්තා-අප්පච්චි-මාමා-ස්වාමියා- බිරිඳ පහසුවෙන් බිඳ නොවැටෙන සුවිශේෂි වාර්තාවක්.

Facebook Comments