ලංකාවේ අද උත්සන්න වුනු ‘දේශපාලන විරෝධී දේශපාලනය’

ලංකාවේ අද උත්සන්න වුනු ‘දේශපාලන විරෝධී දේශපාලනය’

දේශපාලන න්‍යායයේ මෙම සංකල්පයේ මූලික අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න, ඒකාධිපතිවාදී රාජ්‍යයන්හී දේශපාලනය රාජ්‍යය විසින් සම්පූර්ණයෙන්ම ග්‍රහණයට පාත්‍ර කරගෙන, දේශපාලන පරිකල්පන භාෂාවද සාකච්ඡාව, රාජ්‍ය බලයේ සිටින බලවේග විසින් තීරණය කරනු ලැබ තිබෙන විට, පුරවැසියන් දේශපාලනය නොකිරීමම ‘සාමාන්‍ය දේශපාලනය’ බවට පත්කොට ඇති පසුබිමක, එම ආධිපත්‍යවාදී දේශපාලනයට ප්‍රතිරෝධය දක්වමින් සිදුවන විරෝධතාවාදී දේශපාලන පරිකල්පනයයි. භාවිතයයි. සාකච්ඡාවයි. මෙම අර්ථයෙන් ‘දේශපාලන විරෝධී දේශපාලනය’ යන සංකල්පය තම දේශපාලන ලියවිලිවල භාවිතා කළේ චෙකොස්ලාවැකියාවේ කොමියුනිස්ට් පක්ෂ ඒකාධිපති පාලනයට විරුද්ධ අරගලයේ නායකයා වූ නාට්‍යකරුවකු සහ කලාකරුවකු වූ වක්ලාව් හැවෙල්ය. දේශපාලනය යන්න පිළිබඳ ඇති පරමබලවාදී අර්ථ නිර්ණය ප්‍රතික්ෂේප කරමින්, දේශපාලන අරගලය සහ රාජ්‍යවාදී දේශපාලනයට ගෙන ඒම එම දේශපාලනයේ අරමුණ විය.

එහි දෙවැනි අර්ථය ඇමරිකාව, ඉන්දියාව, ලංකාව වැනි ලෝකයේ බොහෝ රටවල වර්තමානයේ සිදුවන දේශපාලන පරිවර්තනයක් තුළ විකල්ප වශයෙන් අවශ්‍ය වී තිබෙන නව දේශපාලන පරිවර්තනයක් සහ භාවිතයක් හැඳින්වීමටය. වාර්ගික ජාතිකවාදය, ආගම්වාදය, වාර්ගික-ආගම්වාදී ජනකාන්තවාදය, නිර්-ලිබරල් සහ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්ප වන්දනය කිරීම, රාජ්‍යය සහ දේශපාලනය අධිකාරිවාදී මාවතකට යළි දිසාගත කිරීම සහ සමාජයේ විවිධ වාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවිශ්වාසය, සැකය සහ අවසානයේදී වෛරය පුරවැසි සම්බන්ධතාවය හැඩගස්වන දේශපාලන විඥානය බවට පත් කිරීම මෙම ‘දේශපාලන විරෝධී දේශපාලනයේ’ ඇති ප්‍රකාශ වීම් සහ ලක්ෂණයි. එය ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සහයෝගීතාවාදී අන්තර්-වාර්ගික සම්බන්ධතා, සමාජ ගැටුම් සාමාන්‍ය නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යවලින් නිරාකරණය කිරීම, පුරවැසියන් අතර සමානත්වය සහ සහයෝගීතාව යන ‘සාමාන්‍ය දේශපාලනය’ (Normal Politics) බැහැර කරයි.

එබැවින් එය නිශේධනීය දේශපාලනයකි. (Negative Politics) එකකි. එහි සුජාතභාවය ප්‍රශ්න කරමින් එයට පහර දෙයි. සාමාන්‍ය දේශපාලනයට දැන් තැනක් නැතැයි යන ජනකාන්තවාදී සටන් පාඨය ඉදිරියට දමමින් (ජනකාන්තවාදය යන සිංහල පදය මා ඉගෙන ගත්තේ, දේශපාලන චින්තනය අතින් මා සමග මූලික වෙනස්කම් තිබුණත්, චම්පික රණවක ඇමැතිතුමාගෙනි. එය ‘Populism’ යන ඉංග්‍රීසි සංකල්පයට මා මෙතෙක් දැක ඇති හොඳම සිංහල වචනයයි.) අසාමාන්‍ය විකෘති දේශපාලනයක්, සාමාන්‍ය දේශපාලනය බවට පත් කරයි. විකෘතිය නව සාමාන්‍ය දෙය (New Normal) බවට පත් කරයි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

Facebook Comments