රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා

රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා

පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට  නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (08) පැවසුවාය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගයේදී එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ සාක්කි ලබා දෙමින් එම විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා සිටියාය.

එහිදී ජනාධිපති  කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය දමයන්ති පිරිස් මහත්මිය  වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත පියයුරු පිළිකා මුල් අවස්ථාවේදී එන්නත් නොකළ යුතු බෙහෙතක් බව හඳුනාගත් බවය.

බෙහෝ අවස්ථාවල එම එන්තන භාවිත නොකරන්නේ කුමක්දැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධවේදීන් ගෙන් තමන් විමසන බවත් එම බෙහෙත එන්නත් කර රෝගීන්ට ආසාධන ඇති වූ අවස්ථාවලදී ඒ බව තමන්ම වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන් බවත් විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය කොමිසම හමුවේ පැවසුවාය.

මෙම එන්නත් සිද්ධිය ගැන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතාද  තමන්ද සාක්කි දීම නිසා ඉහළ නිලධාරීන්ගෙන් ඇති විය හැකි බලපෑම් හා තර්ජන සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියාය.

එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ කොමිසමට පවරා ඇති බලතල අනුව සාක්කි දෙන කිසියම් අයෙකුට බලපෑම් එල්ල කළහොත් එවැනි අයගේ රැකියාව පවා අහිමි කිරීමට සාමාන්‍ය නීතිය යටතේ පියවර ගත හැකි බවයි.

කොමිසමේ නිල කාලය අවසන් වුවත්  අනාගතයේ හෝ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අයිතිය කිසිදු අවස්ථාවකදී අහෝසි නොවන බවද කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 16 දිනට කල් තබන ලදී.

Facebook Comments