රටකට ඕනෑ මෛත්‍රී යුගයක්!

රටකට ඕනෑ මෛත්‍රී යුගයක්!

මැදවච්චිය කියන පළාත ලංකාවේ හැඳින්වෙන්නේ තවත් එක ඈත පළාතක් විදියටයි. මොකද ලංකාවේ ඈත පළාත් කියලා කියන්නේ, කොළඹ කේන්ද්‍රයට ඈත පරිධියේ ඇති පළාත් ස්ථාන සහ මිනිසුන්ටයි. ඉතිං අන්න ඒ වගේ ඈත පළාතකින් ලංකාවේ දේශපාලනයට ආපු කෙනෙක් තමයි මෛත්‍රීපාල සේනානායක. 1947 ලංකාවේ පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රීපාල සේනානායක මහතා පාර්ලිමේන්තුවට එන්නේ මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයෙන්. ඉන් පස්සේ අගමැති ඩී.එස්. සේනානායකගේ ඇමැති මණ්ඩලයේ ස්වදේශ කටයුතු ඇමැති විදියට ඔහු වැඩ කරනවා.

නමුත් පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඇමැතිකමෙන් ඉල්ලා අස් වී මැදවච්චිය ස්වාධීන මන්ත්‍රී කෙනෙක් විදියට කටයුතු කරනවා. පස්සේ තමයි ශ්‍රීලනිපයට එක්වෙන්නේ. ඉන් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවල විවිධ ඉහළ තනතුරු හෙබැවූ ඔහු තමයි ලංකාවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී අවුරුදු හතළිස් නවයක් එක දිගට එකම ඡන්ද කොට්ඨාසයකින් පාර්ලිමේන්තුව නියෝජනය කළ. ඒත් ඔහුට තිබුණු සුදුසුකම් හෝ ඔහුගේ යහපත් ප්‍රතිරූපය නිසා ඔහුට ලැබිය යුතු වූ දේවල් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව, මේ මජර දේශපාලනයේ ඇති පවුල්වාදය සහ බල තණ්හාවයි.

මේ නිසාම කළකිරෙන ඔහු යළිත් එජාපයට ගොස් ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස ද කටයුතු කරනවා. 1994 තෙක් පාර්ලිමේන්තුවේ සිටින මෛත්‍රීපාල සේනානායක මහතා පසුව උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වෙනවා. ඒක ඇත්තටම් තමන්ට සුදුසු දේවල් නොලැබී (ඔහු සුදුසුව සිටියේ ලංකාවේ අගමැති වීමටයි) නිසා ලැබුණු සැනසිලි ත්‍යාගයක් පමණයි.

1998 ජුලි 12 වෙනිදා ඔහු මියයන විට පසුවූයේ අසූ දෙවැනි වියේයි. අපට කුඩා කල පටන්ම මෛත්‍රීපාල කී විට මතක් වූයේ මෛත්‍රීපාල සේනානායක නම් ඔහුය. මැදවච්චියේ මෛත්‍රීපුර ඔහුගේ යහපත් නමින් ඉදි වූ මිනිස් හව්හරණකි. කෙසේ වෙතත්, මෛත්‍රී යන නම දැන් නම් කිසිවකු ප්‍රියකරන නමක් නොවන බවත් මෙහි ලා සටහන් කළ යුතුය.

සේපාල් අමරසිංහ

Facebook Comments