පළමු කොටස කියවමු..
අප්‍රේල් 5 දා අලුයම වැල්ලවාය පොලිසියට ජ.වි.පෙ. පහරදීමත් සමග තත්ත්වය වඩාත් බරපතල විය. විජේවීර මුදාගැනීම සඳහා කැරලිකරුවන් යාපනය සිරගෙදරට පහරදිය හැකි බවට රහසිගත තොරතුරු ලැබී තිබූ බැවින් එවකට යාපනය පොලිස් අධිකාරීව සිටි රාමචන්ද්‍ර සුන්දරලිංගම් මහතා සිරගෙදර ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත්තේය.

සිරගෙදර පිහිටා තිබූ පැරණි ඕලන්ද බලකොටුව තුළ රජයේ ප්‍රධාන ගොඩනැගිලි සතරක් විය. එනම් බන්ධනාගාරය (සිරගෙදර), පොලිස් අධිකාරී නිල නිවස, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහා වූ නිවස සහ ඕලන්ද ප්‍රෙස්බිටීරියන් ක්‍රිස්තියානි පල්ලියයි. බලකොටුව දිය අගලකින් වටවී තිබිණි.
බන්ධනාගාර අධිකාරීට ලැබී තිබූ උපදෙස් අනුව විජේවීර අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කොට වෙනම සිරමැදිරියක රඳවනු ලැබ සිටියේය. සුන්දරලිංගම් මහතා මට පැවසූ පරිදි අනෙක් සිරමැදිරිද හිස්ව තබන ලදී.
විජේවීර මුදාගැනීම සඳහා ප්‍රහාරය ඇරඹුනේ අප්‍රේල් 5 දා රාත්‍රියේය. එදින රඟ දැක්වුණු ක්‍රිස්තියානි ආගමික නාට්‍යයක් නැරඹීම සඳහා විශාල සෙනඟක් දුරෙයි අප්පා ක්‍රීඩාංගනයට රැස්වී සිටියහ. ක්‍රීඩාංගණය පිහිටා තිබුණේ යාපනය පොලිස් ස්ථානය සහ බලකොටුවට යාබදවය.

එදින මැදියම් රැයේදී රතිඤ්ඤා පිපිරීමක් වැනි හඬක් සුන්දරලිංගම් මහතාට අසන්නට ලැබිණි. ඔහු මුලින් සිතුවේ එය රඟදැක්වෙමින් තිබූ නාට්‍යයේ කොටසක් කියායි. එහෙත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් යාපනය පොලිසියේ අතිරේක සැරයන්වරයාගෙන් සුන්දරලිංගම් මහතාට දුරකතන ඇමතුමක් ලැබිණි.
“ත්‍රස්තවාදියො පොලිසියට බෝම්බ ගහනවා සර් ප්‍රවේසම් වෙන්න.”
(ත්‍රස්තවාදී යන වචනය මෙරට ජනවහරට මුලින් එක්වූයේ නැතහොත් ප්‍රචලිත වූයේ මේ කාලයේ බව අද පරම්පරාව නොදන්නා කරුණකි.)
විජේවීර මුදාගැනීමේ අරමුණින් කොළඹ සිට සිංහල තරුණයන් 150 ක පමණ පිරිසක් දුම්රියෙන් යාපනයට පැමිණ සිටියහ. අවාසනාවට ඔවුන් සතුව තිබුණේ ඔවුන් විසින්ම තනාගත් බාල වර්ගයේ අත්බෝම්බ සහ ගල්කටස් පිස්තෝලය. (ඊට දශකයකට පසු කොටි සංවිධානය ලබාගත් අවි තාක්ෂණය ජවිපෙ සතු නොවීය.)
වහාම පලාලි යුද හමුදා කඳවුරට කතා කළ සුන්දරලිංගම් මහතා හමුදා කණ්ඩායමක් සහ පොලිස් කැරළි මර්දන පිරිසක් ගෙන්වාගත්තේය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් 90 කට ආසන්න තරුණ පිරිසක් යාපන කොටු බැම්ම මතදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ වනවිට කොළඹ පොලිස් මූලස්ථානය සමග පැවැති සුන්දරලිංගම් මහතාගේ දුරකතන සබඳතාවය විසන්ධි වී තිබිණි. කොළඹත් සමග පණිවුඩ හුවමාරු වූයේ පොලිස් ගුවන්විදුලි පණිවුඩ යන්ත්‍ර (RADIO TRANSMITTER) මගිනි.

පසුවදා සුන්දරලිංගම් මහතා විජේවීර රඳවා සිටි මැදිරියට ගොස් ඔහු හමුවිය. තමන් ගලවාගැනීමේ ජ.වි.පෙ. ප්රයත්නය අසාර්ථක වීම නිසා විජේවීර සිටියේ දැඩි අසහනයකින් බව සුන්දරලිංගම් මහතා මෙම ලියුම්කරුට පැවසීය.
ජ.වි.පෙ. කැරැල්ල දියත්වීමත් සමගම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර ඉන් පැය 48 කට පසු ඒ මහතාට කොළඹින් ගුවන් විදුලි පණිවුඩයක් ලැබිණි.
මීළඟට:
උතුරු නැගෙනහිර ජ.වි.පෙ. නාවික හමුදා අණදෙන නිලධාරියා!