යාපනය බන්ධනාගාරයෙන් විජේවීර මුදාගැනීමේ මෙහෙයුම සහ ජවිපෙ උතුරු නැගෙනහිර නාවික හමුදා අණදෙන නිලධාරී තිලකරත්න

යාපනය බන්ධනාගාරයෙන් විජේවීර මුදාගැනීමේ මෙහෙයුම සහ ජවිපෙ උතුරු නැගෙනහිර නාවික හමුදා අණදෙන නිලධාරී තිලකරත්න

අප්‍රේල් 5 දා මෑත ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන දිනයකි.

ඉන් පළමුවැන්න 1942 අප්‍රේල් 5 දා ජපනුන් කොළඹ සහ ඒ අවට ස්ථානවල ගුවනින් බෝම්බ හෙලීමයි. ඒ දෙවන ලෝක යුද සමයේදීය. දෙවැන්න ලංකාවේ තුන්වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරා ගැනීම සඳහා 1956 අප්‍රේල් 5 සිට 10 දක්වා පැවැති මැතිවරණයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ජයගත් එම මැතිවරණය මෙරට ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය.

ඉන් 15 වසරකට පසු එනම් 1971 අප්‍රේල් 5 දා ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රථම සන්නද්ධ අරගලය දියත් කළේය. ඒ බ්‍රිතාන්‍යයන් මෙරට හැරගියාට පසු ඇති වූ ප්‍රථම රාජ්‍ය විරෝධී කැරැල්ලයි. මීට සෘජුව හා වක්‍රව 1956 ඇති වූ දේශපාලන පෙරළිය බල පෑ බව එහි පසුබිම හදාරන විට පැහැදිලි වන්නකි.

කැරැල්ල පටන් ගන්න විට මා ලේක්හවුස් ‘ඔබ්සර්වර්’ කර්තෘ මණ්ඩලයට බැඳී යන්තම් වසර තුනකි. මට භාර වූ විෂය පථය වූයේ පොලිස් දෙපාර්තමේන්තුව ආවරණය කිරීමය. එවකට “චේ ගුවේරා කල්ලිය” නමින් සාමාන්‍ය ජනයා හැඳින්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රහසින් අවි රැස්කිරීම 1969 සිටම රහස් පොලිසියේ උකුසු ඇසට ලක් වී තිබුණි.

එකල ජවිපෙ ජනප්‍රිය සටන් පාඨයකි.

චේ ගුවේරා ගිය පාරේ
අපි යන්නේ ඒ පාරේ
හෝ චි මිං ගිය පාරේ
අපි යන්නේ ඒ පාරේ

එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ අගමැති ඩඩ්ලි සේනානායක රජයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයක නියැලී සිටියේය. මෙම ව්‍යාපාරයට ජවිපෙ මතුපිටින් සහාය දැක්වූ බැවින් ඔවුන්ගෙන් සමහරු රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සමගි පෙරමුණේ දැඩි විවේචනයට ලක් විය. කෙසේ වෙතත් 1970 වසරේ සමගි පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසු පොලිසියේ මෙම විමර්ශණ කටයුතුවලට බාධා එල්ල නොවීය. ස්ටැන්ලි සේනානායක මහතා පොලිස්පති ධුරයට පත් වූයේ එම වසරේමය.

ඊළඟ වසරේ 1971 මාර්තු 6 වැනිදා ජවිපෙට විරුද්ධ කණ්ඩායමක් වූ ධර්මසේකර කල්ලිය කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළේය. පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය බිලිගත් එම ප්‍රහාරයේ අරමුණ වියට්නාමයේ ඇමෙරිකන් අධිරාජ්‍යවාදී ආක්‍රමණයට විරෝධය ප්‍රකාශ කිරීම යයි ධර්මසේකර කණ්ඩායම පැවසූ නමුත් එහි යටි අරමුණ වෙනකක් බව පසුව පැහැදිලි විය.

මෑතක් වන තුරු අනාගාරික දිවියක් ගත කළ ජී.අයි.ඩී. ධර්මසේකර පසුව පැවිදි දිවියට ඇතුළත් විය.

ඇමරිකන් තානාපති කාර්යාලයට පහර දීමත් සමග මෙරට රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බැවින් පොලිසියට ජ.වි.පෙ. ක්‍රියාකාරීන් සෙවීමේ කටයුත්ත වඩාත් පහසු විය.

ධර්මසේකර කල්ලිය සැබවින්ම කළේ රටේ ලියලමින් තිබූ ජ.වි.පෙ. ක්‍රියාකාරිත්වය ගැන රජය අවදි කිරීමකි.

මාර්තු 16 දා අම්පාරේදී දේශපාලන පන්ති පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් ජ.වි.පෙ. නායක පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර පසුව ගුවන් මගින් යාපනය සිර ගෙදරට ගෙන යන ලදී.

මීළඟට

විජේවීර මුදාගැනීමේ මෙහෙයුම!

Facebook Comments