මෛත්‍රී පළාත් සභා පිදුරු ගහේ එල්ලෙයිද? බැසිල් සහ මහින්ද කුමක් කරයිද?

මෛත්‍රී පළාත් සභා පිදුරු ගහේ එල්ලෙයිද? බැසිල් සහ මහින්ද කුමක් කරයිද?

රටේ දේශපාලනය මේ වන විට උණුසුම් වන්නේ ජනාධිපතිවරණය සඳහා හත් ගව්වක් තබාගෙනය. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා නම් කළේ හදිසියේ අමුඩ ගසන්නාක් මෙනි. මාස තුනකට අධික කාලයක් තදියමේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ගැන දේශපාලන කරළියේ විවිධ කතා බහ පැතිර යමින් පවතී. කිසිවකු කතා නොකරන එහෙත් ජනාධිපතිවරණයට කළින් සිදුවිය යුතු වැදගත් සිදුවීමක් මුවවිටට පැමිණ තිබේ. එය නම් පළාත් සභා මැතිවරණයයි. පළාත් සියල්ලේම පළාත් සභා මේ වෙද්දී විසුරුවා අවසන් ය. නමුත් මෙතෙක් පළාත් සභා මැතිවරණය සඳහා සූදානමක් පැවතියේ නැත.

ජනාධිපතිවරයා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. නීතිමය ගැටළුව විසඳුන හොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර සිටී. ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවද හෙතෙම සඳහන් කරයි.

දේශපාලන උපක්‍රමයක් ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා මෙම පළාත් සභා මැතිවරණය භාවිතා කරන්නට සැරසෙන බව දේශපාලනයේ මේ වන විට කතා බහක් පැතිර යයි. පළාත් සභා මැතිවරණයකට රට ගෙන යාමට ජනාධිපතිවරයා උත්සාහ දරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම හරහා මනාව ඔප්පු වේ.

මෙලෙස ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිය බලය තව දුරටත් ව්‍යාප්ත කර ගැනීමට හැකියාව ලැබෙන අතර එය 2020 ජනාධිපති සටනේදී අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා ගැනීමට රුකුලක් වනු ඇත. මන්ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් සිටින්නේ පිදුරු ගහේ එල්ලිලා හෝ ගොඩ ඒමේ උත්සාහයකය. ඔහු උත්සාහය අත හරින්නට සූදානම් නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කළායින් පසු ජනාධිපතිවරයා ඒ ගැන ප්‍රසිද්ධියේ කට හෙල්ලුවේ නැත.

එසේම මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එය සාර්ථක වූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතිවූ රහස් සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ මහතා වෙත මේ හරහා විශාල බලයක් හිමිවන අතර එය ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබා නොදීමට හේතුවන එක් කරුණක් බවට පත්වේ. මේ වන විට ගෝඨාභය මහතා වෙත අපේක්ෂකත්වය ලබා දී තිබුණත් එය ව්‍යාජ මවා පෑමක් බව දේශපාලන රහස් ඔත්තු සේවා හරහා මේ වන විට රටට හෙළි වෙමින් තිබීම නිසා උක්ත කරුණු පිළිබඳව සත්‍යතාවයක් ගොඩ නගා ගැනීමට හැකියාව තිබේ.

කෙසේවෙතත්, මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස්වන දේශපාලනය ගැන අනාවැකි කියන්නට යාම නිශ්ඵලය. හෙට එන්නේ ගෝඨාභය සහ සජිත් ද, කරූ සහ බැසිල් ද, නැතහොත් වෙනමම පුද්ගලයන් දෙදෙනෙකු ද යන්න කියන්නට තවම කල් වැඩිය.

Facebook Comments