“මුස්ලිම් කොරෝනා මරණ භූමිදානය කරන්නැයි බැසිල් කියා නැහැ”

“මුස්ලිම් කොරෝනා මරණ භූමිදානය කරන්නැයි බැසිල් කියා නැහැ”

කොරෝනා වෛරසය වැළඳී මිය ගිය සියලු මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර භූමදානය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බවට පළකර ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ඒකකය අවධාරණය කරයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින එම පුවත අනුව එම වෛරසයෙන් මිය ගොස් ඇති මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරු කැඳවා රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එම මෘත ශරීර භූමදානය කිරීමට අදාළ ඥාතීන් කැඳවා ඉඩ දෙන ලෙසයි.

එහෙත් එවැනි උපදෙස් දීමක් හෝ නියෝග දීමක් කිසිදු අයුරකින් සිදුව නැති බවත් මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ විපක්ෂ දේශපාලන මතධාරීන් විසින් ජනතාව භේද භින්න කිරීම සඳහා මෙවැනි ප්‍රචාර කරමින් තිබෙන බවයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ. 

මේ මොහොතේ රජය හා සෞඛ්‍ය අංශ විසින් ගන්නා ඕනෑම තීරණයක් සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහයෝගය දෙන බව ඔවුන් පවසයි. 

එමෙන්ම එම අසත්‍ය පුවත පළකර තිබෙන වෙබ් අඩවියට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බවත් එම පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.  

Facebook Comments