මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙ ඇති?

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙ ඇති?

සමහර මහ මැතිවරණවලදී පාලක පක්‍ෂය බලයෙන් පහවී යන්නේ “සුනාමියක්‌” ආවා වැනිවූ බලාපොරාත්තු රහිත ආකාරයෙනි. මෙරට මැතිවරණ ඉතිහාසය දෙස බලන විට එවැනි මහ පෙරැලි දෙකක්‌ සිදුවී ඇත්තේ 1956 සහ 1977 වසර වලදීය. මෙම අවස්‌ථාවලදී ජනතාව එම අප්‍රසාදය හා කෝපය පළකරනු වස්‌ පුද්ගලයන්ගේ සුදුසු නොසුදුසු බව නොසලකා ඡන්දය භාවිත කිරීම නිසා අභිනවයෙන් පත්වූ පාලක පක්‍ෂයට අදක්‌ෂ, නුසුදුසු, අකාර්යක්‍ෂම, මෝඩ හා අමන නියෝජිතයන්ද පත්වූ බව නොරහසකි.

එවන් එක්‌තරා අවස්‌ථාවකදී අභිනව පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවය සඳහා කොළඹට බොහෝ දුරක්‌ පිහිටි පිටිසර ඡන්ද කොට්‌ඨාසයක්‌ නියෝජනය කළ කෝඩුකාර මන්ත්‍රීවරයෙක්‌ පෙරදින කොළඹට පැමිණ ඕල්කොට්‌ මාවතේ පිහිටි හෝටලයක ලැගුම් ගත්තේය. පසුවදා පෙරවරු 9.30 ට පෙර පැමිණ පාර්ලිමේන්තුවේ අසුන්ගත යුතු බවටද උපදෙස්‌ ලැබී තිබුණි.

පසුවදා උදයේ සුදු ජාතික ඇඳුමින් සැරසුණ ඔහු, වේලාසනින්ම පැමිණ අසුනකට බරදී ගත්තේය. මිනිත්තුවෙන් මිනිත්තුව කාලය ගෙවී ගියේය. ඔහු වටා අසුන් සිය ගණනක්‌ පමණද විය. ඒත් ඒ සියලුම ආසන හිස්‌ය. එකද මන්ත්‍රීවරයකු පැමිණ සිටියේ නැත. දැන් හේ විමතියෙන් යුතුව බලාගෙන සිටියේය. ඒ අතර මුස්‌නයක්‌ අතින් ගත් පුද්ගලයෙක්‌ එහි පැමිණියේය.

“ඒයි ළමයා අනෙක්‌ මන්ත්‍රීවරු කොහේද?” යි ඔහු එම පුද්ගලයාගෙන් ඇසීය.

“මන්ත්‍රීවරු?” විශ්මයට පත් පුද්ගලයා කීවේය. “ඒ අය පාර්ලිමේන්තුවේ ඇති”

“පාර්ලිමේන්තුව, එතකොට මේ කොහේද?” කලබලයට පත් මන්ත්‍රීවරයා ඇසීය.

“මේ රීගල් එක”

රීගල් යනු කොටුවේ පිහිටි සිනමා ශාලාවය.

Facebook Comments