“බුරවි” ගෙන එන හානි අවම කරගන්න..

“බුරවි” ගෙන එන හානි අවම කරගන්න..

ශ්‍රී ලංකාවට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා මෙන් රජය අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබේ.

අද (දෙසැම්බර් 02) සවස නැගෙනහිර දෙසින් ලංකාව තුළට කුණාටුව ඇතුළ වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව, මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා, ගොඩට ඇඳගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රාහිමියන්ට කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත දන්වා තිබේ.

එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් හෙට (03) දින උදය කාලයේ දී සියලු කොට්ඨාස භාර නිලධාරීන් සහ ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් තව දිස්ත්‍රික්කය තුළ වෙරළාසන්න යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථීරව තැබීමේ වැඩසටහනක් සංවිධානය කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙම අවස්ථාවේ දී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත්‍රා ප්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලු පාර්ශවයන් වෙත රජය දැනුම් දෙයි.

Facebook Comments