බදු කප්පාදුව මගින් රාජ්‍ය ආදායම අවම කරනු ඇත. ඉල්ලුම වැඩි කර ආර්ථික වර්ධනය ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

බදු කප්පාදුව මගින් රාජ්‍ය ආදායම අවම කරනු ඇත. ඉල්ලුම වැඩි කර ආර්ථික වර්ධනය ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බදු වෙනස්කම් ශ්‍රී ලංකාවේ ආයතනික බදු ව්‍යුහයට විශාල සංශෝධන සිදු කිරීමට යෝජනා කරන අතර විශේෂිතම කරුණ නම් ආගමික සහ සංස්කෘතික වශයෙන් පාප කර්මාන්ත යැයි කියන කර්මාන්ත සඳහා ආදායම් බදු අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කිරීමයි.

2020 අපේ‍්‍රල් 1 වනදා සිට වර්තමාන 40% සිට මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන ආයතනික ආදායම් අනුපාතය 28% දක්වා අඩු කිරීමට මෙම සංශෝධන යෝජනා කරයි. ඒ අතරම, වෙළඳාම, බැංකු, මූල්‍ය, රක්ෂණ ආදිය සඳහා වන සම්මත බදු අනුපාතය 24% දක්වා අඩු කිරීමට යෝජනා කෙරේ.

මේ අනුව, සම්මත ආයතනික බදු අනුපාතය සහ පාප කර්මාන්ත සඳහා අය කරනු ලබන බදු අනුපාතය අතර වෙනස කලින් පැවති සියයට 12 සිට සියයට 4 දක්වා අඩු කිරීමට යෝජනා කෙරේ.

අපනයන, සංචාරක, අධ්‍යාපනය, වෛද්‍ය සේවා, ඉදිකිරීම් සහ කෘෂි සැකසුම් සඳහා වන 14% ක ආයතනික ආදායම් බදු අනුපාතය සමඟ ඉදිරියට යාමට රජය සැලසුම් කරයි.

කෙසේ වෙතත්, නිෂ්පාදන අංශය සඳහා 18% ක නව ආයතනික ආදායම් බදු ස්ථරයක් හඳුන්වා දීමට යෝජනා කෙරේ.
මේ වන විට, ශ්‍රී ලංකාවේ ආයතනික ආදායම් බදු ව්‍යුහයට ස්ථර තුනක් ඇත – එනම් 40%පාප කර්මාන්ත (Sin Industries) සඳහා වන ආදායම් බද්ද, 28% සම්මත බද්ද සහ අපනයන, සංචාරක, ඉදිකිරීම් ආදිය සඳහා 14 % බද්දක්.

ආයතනික ආදායම් බදු කප්පාදු කිරීමට අමතරව, ආර්ථික සේවා ගාස්තු (ඊඑස්සී) වැනි ඇතැම් බදු අහෝසි කිරීමට යෝජනා කරන අතරම සංශෝධන පුළුල් පරාසයක බදු කප්පාදුවක් ආවරණය කරයි.

මෙම පනත ළඟදීම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

නව පරිපාලනය විසින් හඳුන්වාදුන් ආර්ථික උත්තේජක පැකේජයට අගය එකතු කිරීමේ බදු (VAT) අනුපාතය 8% දක්වා අඩුකිරීම (බොහෝ කර්මාන්ත වල 15% සිට) VAT බදු පිරිවැටුම සිව් ගුණයකින් වැඩි කිරීම, මෙන්ම ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීම ද ඇතුලත් වේ.

Fitch සහ S & P යන ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම් දෙකම බදු කප්පාදුව සමග දැනටමත් ශ්‍රී ලංකාවේ ණය දැක්ම සංශෝධනය කොට තිබේ.ආදායම් පදනම් කරගත් මූල්‍ය ඒකාබද්ධ කිරීමේ මාවතෙන් පැහැදිලි අපගමනයක් සිදුවන අතර, රාජ්‍ය ආදායමේ ඇති විය හැකි අනිවාර්ය අඩුවීම හේතුවෙන් ණය තිරසරභාවයට සිදුවන අවදානම ඉහළ යනු ඇති බව ඔවුන් සඳහන් කරයි.

රටේ මූල්‍ය සැකසුම් වැඩිදියුණු කිරීමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස 2018 දී බලාත්මක කරන ලද දේශීය ආදායම් පනත සැළකිල්ලට ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ශ්‍රී ලංකාවේ ඇති සම්බන්ධතාවය නව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් අවදානමට ලක්විය හැකිය.

ෆිච් ශ්‍රේණිගත කිරීම් සමාගම එහි මූලික ඇස්තමේන්තු මගින් ප්‍රකාශ කරන්නේ VAT අනුපාතය වෙනස් වීම සහ NBT ඉවත් කිරීම හේතුවෙන් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% කින් අඩු විය හැකි බවයි. 2018 දී VAT බද්ද රජයේ ආදායමෙන් 24% ක් විය.

බදු කප්පාදුව ණය සෘණාත්මක වන අතර, මින් රජයේ ආදායමට වන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% සිට 1.5% පමණ දක්වා අඩුවීමක් ලෙස ගණන් බලා ඇත්තේ මීඩීස් ආයතනයයි.

බදු කප්පාදුව ශ්‍රී ලංකාවේ අයවැය හිඟය සියයට 0.8-1 කින් පුළුල් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, බදු කප්පාදුව මගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ඉහළ නංවන අතර එමඟින් ආර්ථික වර්ධනය ද ඉහළ යනු ඇතැයි රජය පවසයි. එමගින් සිදුවන ඕනෑම ආදායම් අලාභයක් අවම කරගත හැකිවනු ඇතැයි රජයේ අපේක්ෂාවයි.

Facebook Comments