බදියුදීන්ට එරෙහි පරීක්ෂණ, මහේෂ් සේනානායකගේ විදෙස් ගමන නිසාවෙන් අතරමග නැවතී…

බදියුදීන්ට එරෙහි පරීක්ෂණ, මහේෂ් සේනානායකගේ විදෙස් ගමන නිසාවෙන් අතරමග නැවතී…

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයට විශ්‍රාමික හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදේශගත වී සිටීම හේතුවෙන් බාදා එල්ලවී ඇති බව පොලිස් අපරාධ අංශය වාර්තා කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඒ මහතා සිය පවුල සමඟ විදේශ ගත වී ඇති බවට හෙළි වූ බවත් යළිත් මෙරටට පැමිණෙන දින වකවානු නොදන්නා හෙයින් පරීක්ෂණ අතර මග නැවතී ඇති බවද පොලිසිය සදහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා රජයේ නිලධාරියකුට බලපෑම් කළේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධිය සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශ ඇතුළත් විද්‍යුත් නාලිකා කිහිපයක ප්‍රචාරය වූ වීඩියෝ පට පොලිසිය බාරයට ගත් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Facebook Comments