පිරිපාහරන්ගේ රුව ප්‍රදර්ශනය කළ උදයන් පුවත්පතට නඩු..

පිරිපාහරන්ගේ රුව ප්‍රදර්ශනය කළ උදයන් පුවත්පතට නඩු..

LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ පිරිපාහරන්ගේ ඡායාරූපයක් පළකිරීම සම්බන්ධයෙන් “උදයන්” පුවත්පතට එරෙහිව පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇතැයි වාර්තා වේ. 

“උදයන්” යනු යාපනයෙහි වැඩිම අලෙවියක් සහිත පුවත්පතකි. පසුගිය නොවැම්බර් 26 වනදා ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් එම පුවත්පතේ පළකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් එම පුවත්පතට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර අධිකරණය එම නඩුව මේ වනවිට 2021 මාර්තු 21 වනදා දක්වා කල්තබා ඇත. 

එම පුවත්පතේ ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය පළිගැනීමක් වශයෙන් මෙම නඩුව පවරා ඇති බවයි. “වඩේ කාපු යාපනයේ මිනිස්සුන්ට අපි පීසා කන්න හදල දුන්නා” යනුවෙන් ප්‍රකාශයක් පසුගිය දිනෙක යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සිදුකර තිබුණු අතර එය උදයන් පුවත්පතේ පළවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබිණි. පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් කුපිත වී සිටි බැවින් ඉහත කී නඩුව පවරා ඇත්තේ ඊට පළිගැනීමක් වශයෙන් විය හැකි බවට යාපනේ මාධ්‍යවේදීන් ද සැක පහළ කරයි. 

මෙරට පුවත්පත් සහ වෙනත් මාධ්‍ය බොහෝ අවස්ථාවන්හිදී ප්‍රභාකරන්ගේ ඡායාරූ‍ප පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවරෙන පළමු අවස්ථාව මෙය වේ. 

මෙරට මාධ්‍ය ඉතිහාසයෙහි වැඩියෙන්ම ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක්වූ පුවත්පත වන්නේ ද උදයන් පුවත්පත වන අතර ඒ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය අසමත්ව සිටීම ද විශේෂත්වයකි. 

Facebook Comments