නේරුගෙ අම්මා

නේරුගෙ අම්මා

1947 පැවැති ලංකාවේ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක්‌ විය. මැතිවරණයට ඉතා ආසන්නව තිබියදී ඔහු ඉන්දියාවේ වන්දනා ගමනක නියුතු විය. ඒ අතරතුර ඔහුට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතාගේ ප්‍රසිද්ධ රැස්‌වීමක්‌ නැරැඹීමටද අවස්‌ථාව උදාවිය.

“මගේ ජීවිත කාලය තුළ මට සිටියේ එකම එක්‌ කාන්තාවක්‌ පමණි” යි නේරු මහතා ප්‍රකාශ කරන විට ජනතාව වශීකෘත වූවාක්‌ මෙන්, නිහඬව කතාවට සවන් දීගෙන සිටියේය.

“මම හැමවිටම ඈට භක්‌තිමත්ව, විශ්වාසීව මහත් සේ ආදරය කරමි. ඒ ඇයටම පමණි”

ජනතාව මීයට පිම්බාක්‌ මෙන් නිහඬව අසා සිටිද්දී නේරු මහතා තම කතාව දිගටම කරගෙන ගියේය.

“මම ඈට මගේ ජීවිතයේ සෑම දිනකම සේවය කළ අතර කිසියම් දිනෙක මා මියගිය පසු ඇගේ උණුසුම් තුරුළට වී සදාකාලිකව සැතපෙන්නෙමි”

මඳකට කතාව නතර කළ එතුමා මෙසේද කීවේය.

“මගේ මිත්‍රවරුනි ඒ කාන්තාව වූ කලී අනෙකෙක්‌ නොව භාරත මාතාවයි”

මොහොතක්‌ සභාව නිශ්ශබ්ද වූ අතර ඊළඟ මොහොතේ ඒ බිඳී ගියේ මහත් වූ අත්පොළසන් නාදයකිනි.

මෙරට දේශපාලනඥයාට නේරුගේ මෙම කියමනට දැඩි ලෙස හිත ඇදී ගියෙන් කතාවේ එම කොටස ලියා සටහන් කර තබා ගන්නා ලදි. පසුව ලංකාවට පැමිණි ඔහුට තම ඡන්ද කොට්‌ඨාසය තුළ පැවැති දැවැන්ත රැළියකට සහභාගි වීමට සිදුවිය. එහිදී සෙමින් කතාව ඇරැඹූ ඔහු ක්‍රමයෙන් එහි උච්චස්‌ථානය කරා ගෙන ආවේය.

එහෙත් ඔහුට මෙහිදී ඛේදජනක වූ දුබලතාවක්‌ ඉස්‌මතුවී ගියේය. ඒ මත්පැනට ඇති ගිජුකමයි. මත කටගා ගත් පමණින් ඔහුගේ මනස ව්‍යාකූල වන්නේය. එවිට ඔහුගේ වදන්ද එකිනෙකට පටළවා ගන්නේය. නේරුගේ කියමන ඔහු මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුණේද එවන් අවස්‌ථාවකදීය.

“මාගේ ජීවිත කාලය තුළ මට සිටියේ එකම කාන්තාවකි. මම ඈට අවංක වූයෙමි. භක්‌තිමත්ව විශ්වාසයෙන් යුතුව ආදරය කළෙමි. සෑම දිනකම මම ඈට සේවය කළ අතර කිසියම් දිනෙක මා මළ පසු ඇගේ උණුසුම් තුරුල්ලේ සදාකාලිකව සැතපෙන්නෙමි”

නාට්‍යාකාරයෙන් රඟදක්‌වමින් හා උස්‌වූ කටහඬින් යුතුව අවසානයට මෙසේද කීවේය.

“මාගේ මිත්‍රවරුනි, ඒ කාන්තාව වූ කලී නේරුගේ අම්මාය”

Facebook Comments