තවත් එක් මනුෂ්‍ය ඝාතනයක්..

තවත් එක් මනුෂ්‍ය ඝාතනයක්..

ජීවිතය උදුරාගැනීම නොඑසේනම් මරාදැමීම සාධාරණ යැයි යුක්ති යුක්ත යැයි මිනිසා කල්පනා කරන්නේ එක් අතකින් ඔහු තම වර්ගයාට එරෙහිව කරන ලද අහස පොළොව නුහුලන අපරාධ හේතුවෙනි. තවත් විදියකට කල්පනා කරද්දී අපට පෙනීයන්නේ මේ අපරාධ කරමින් සමාජයේ යෙහෙන් ජීවත් වීම ඉදිරියටත් එබඳු අපරාධවලට පාර කැපීමක් හැටියටය. හැරත් ඔවුනට නීතියේ පිටුවහලක් බලයක් අඩු නැතිවම හිමිවෙයි.

මේ දිනවල නිරතුරු කතා බහ කෙරෙන ‘වරදට දඬුවම මරණය’ මනුෂ්‍ය ඝාතනය සාධාරණය යන පොදු හැඟීමක් ඉපදීම මේ සියල්ලේ අන්තයේදී සිදුවන ඛේදවාචකයයි.

ජර්මනියේ විසූ බලසම්පන්නතම පුද්ගලයන් අතුරින් අයෙකු ලෙස සැලකුණු රයින්හාඩ් හයිඩ්‍රිෂ්ට වූයේ ඔය ටිකමය. මනුෂ්‍ය වර්ගයාට එරෙහිව මෙපමණ යැයි කිව නොහෙන තරමේ අපරාධ රැසක් කළ මේ නාසි යුද නායකයා මේ අයුරින් පසු මිනිසුන්ගේ වෛරයට හා පළිගැනුමට ලක් වී අන්තයේදී කුරිරු ලෙසින් ඝාතනය කර දැමුණේ තවත් එක් ද්‍රෝහියෙකුගේ අවසන් ගමනක් ගැන දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ සැනසුම් සුසුම් සාප කෙරුම් මැද ය.

Holcaust හෙවත් අග්නිහෝම ම සමූල ඝාතන අපට හඳුන්වාදුන් තැනැත්තා ලෙසින් ඉතිහාසයට එක් වූ හයිඩ්‍රිෂ් මරාදැමීමේ මෙහෙයුමට චෙකොස්ලෝවැකියාවේ පූර්ණ එහෙත් රහසිගත සහාය හිමිවිය. ඒ අනුව ය චෙකොස්ලෝවැකියානු බුද්ධි අංශ ප්‍රධානී ෆ්‍රැන්ටයෙන් මොරොවෙස් මේ ඝාතන සැලසුමට මුලපුරන්නේ. මෙහි ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ යුසුන් ගැබ්කිං සහ යාක් කුයිෂ් යන නිලධාරීන් දෙදෙනාට ය. මේ දෙදෙනාට අමතරව තවත් චෙක් සෙබලුන් සත් දෙනෙකු මේ රහසිගත මෙහෙයුමට එක්ව සිටි අතර, මොවුන් සඳහා අවැසි වැඩිපුර පුහුණුව ලබාදුන්නේ බ්‍රිතාන්‍ය හමුදාවයි.

හිට්ලර් සමග හයිඩ්‍රිච්

මියුනික් පොලිස් බලකායේ ප්‍රධානියා ලෙසින් ගමන ආරම්භ කළ හයිඩ්‍රිෂ් මේ වන විට හිට්ලර්ගේ දකුණු අත බවට පත් වී සිටියේ ය. හිට්ලර් ඔහු විටෙක හැඳින්වූයේ “යකඩින් කළ හිතක් ඇති තැනැත්තෙකු” වශයෙනි. හේ එපමණටම කුරිරු නිලධාරියෙක් වූයේ ය. ගුවනින් ගොස් ගොඩ බැස රහසිගතව මෙහෙයුම දියත් කරන්නට පටන් ගත් කේවල කණ්ඩායමට මේ කාරිය තරමක් කඩිමුඩි කරන්නට සිදු වූයේ රාජ්‍ය අවශ්‍යතාවක් මත හයිඩ්‍රිෂ් වෙනයම් වැදගත් කටයුත්තක් වෙනුවෙන් තවත් පළාතකට යැවීමේ සූදානමක් ගැන කටකතාවක් පැතිර ගිය බැවිනි.

පළමු සැලසුම් දෙකම ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් අත්හැර දැමූ මෙහෙයුම් කණ්ඩායම ඊළඟට කළේ තුන්වෙනි සැලසුම ක්‍රියාත්මක කිරීමයි. ඒ වූ කලී මහමගදී මුහුණට මුහුණ මුණ ගැසී දුෂ්ඨයා අවසන් ගමන් යැවීමයි. මේ මෙහෙයුම සඳහා යොදාගත්තේ හතලිස් දෙකේ මැයි මාසයේ 27 වැනි දවසයි. සිය නිල නිවසේ සිට කොළ පැහැ මර්සඩීස් 320 රථයේ නැගී ඔහු ප්‍රාග් කාසල් වෙත යෑමට නියමිත විය.

ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මැදිවීමට ගැලපෙන වංගුවක් මේ මාර්ගයෙහි විය. කැබිෂ් හා ගැබ්කිං සැලසුම් කළේ මේ ඊට සුදුසුම තැන ලෙසයි. මන්දයත් කිසිම රියකට තම වේගය අඩු කරමින් මිස මේ වංගුව පසුකර යන්නට නොහැකි වූ බැවිනි. සැලැස්ම අකුරටම ක්‍රියාත්මක විය. ගැබ්කිං සිය අර්ධ ස්වයංක්‍රීය ගිනි අවිය මානාගත්තේ වුව අවාසනාවකට මෙන් එය ක්‍රියාත්මක වූයේ නැත. යකෙකුටවත් බය නැති හයිඩ්‍රිෂ් සිය පිස්තෝලය ද ඇදගෙන ඉවතට පැන්නේ වියරු විලාසයෙනි. එහෙත් යළි ක්‍රියාත්මක වූ ගැබ්කිං තමා ළඟ තිබුණු අත් බෝම්බයකින් රථයට දමා ගැසුවේ ඉනික්බිති එතැනින් වහා පැනගන්නට සමත් විය. පිපිරුමෙන් තුවාල ලබා සිටියේ වුවද පලා යන සතුරා වෙත වෙඩි තබමින්, ඉදිරියට ගෑටූ හයිඩ්‍රිෂ් අන්තිමේ සිහිසුන්ව බිම ඇද වැටුනේ ය.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක අධීක්ෂණය යටතේ හයිඩ්‍රිෂ් සැත්කම්වලට භාජනය කෙරුණු නමුත් කිසිවෙකුටත් සිතාගත නොහැකි කාරණය වූයේ නිරන්තරවම අංශක සියයත් එකසිය දෙකත් අතර ප්‍රමාණයක ශරීර උෂ්ණත්වයකින් උණකින් හයිඩ්‍රිෂ් පීඩා විඳීමයි. කෙසේ හෝ වේවා දින දෙක තුනක ඇවෑමෙන් හෝ සුව අතට හැරෙන ලක්ෂණයක් පෙන්වන්නට පටන් ගත්තේය. හිට්ලර් පවා මේ අබග්ගයෙන් කම්පාවට පත්ව සිටියේ ය. යම්තමින් හෝ ඔහුට හිස ඔසොවන්නට හැකිවීම ගැන ඔහු මදක් සතුටු සිත් ඇතිව සිටියේ නමුත් සියල්ල කණපිට පෙරලමින් ඊළඟ දවසේ හයිඩ්‍රිෂ් මිය ගියේය. ආහාර ගනිමින් සිටියදී ඇද වැටුණු හයිඩ්‍රිෂ් යම් ගැස්මකින් පීඩා විඳින්නට පටන් ගත් අතර එයින් ම කෝමා තත්ත්වයකට පත් හේ යළි පියවි සිහියට එක් වූයේ නැත.

පණිවුඩකරුවකු බර අඩි තබමින් බුද්ධි අංශ ප්‍රධානියාගේ කුටිය වෙත යනු පෙණුනි. තවත් ඉංග්‍රීසි නිලධාරීන් දෙදෙනෙක් ද එහි වූවෝය.

“සර්” පණිවුඩකාරයා යම් ලියැවිල්ලක් මොරොමේස් අත තැබීය.

“ඔහු මිය ගිහින්” තවත් මොහොතකට පසු මොරොමේස් පැවසීය. ඉංග්‍රීසි නිලධාරීන් දෙදෙනා සතුට පළකළෝය.

“ඔළුවටම තියලාද?”

“නැහැ. බැක්ටීරියාවකින්” මොරොමේස් පැවසූයේ ඇඟට පතට නොදැනෙන අයුරිනි.

“මොකක්, මොකක්ද බැක්ටීරියාවක පළහිලව්ව?”

“ඔව්, මිනිහට අපි දමල ගැහැව්වේ බෝම්බෙකින්. ඒත් ඒක නිකම්ම නිකම් එකක් නොවෙයි.”

“එහෙනම්?”

“ඒක අපි දමල ගැහුවේ බොටියුලීනම් එක්කයි. අන්තිමේදී ඒක හරි ගියා. උන්දෑගෙ අන්තිම ගමන ඉක්මන් වුනේ මේ විස හරියට ක්‍රියාත්මක වුණු නිසයි.”

තවත් එක් මනුෂ්‍ය ඝාතනයක් ලෝක ඉතිහාසය තුළ සාධාරණීයකරණය වූයේ මේ අයුරිනි.

පාලිත ජයකොඩි ‘alchemist’ වෙත ලියූ ලිපියක් ඇසුරිනි.

Facebook Comments