ජොන්ස්ටන්ගේ තවත් මුදල් අක්‍රමිකතා නඩුවක් විසිවෙයි..

ජොන්ස්ටන්ගේ තවත් මුදල් අක්‍රමිකතා නඩුවක් විසිවෙයි..

2010 – 2014 සිට සතොස සේවකයින් තම රාජකාරියෙන් පරිබාහිරව සේවයේ යොදවා ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාර එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩුව කොළඹ මහාධිකරණය අද (ඔක්තෝබර් 02) නිෂ්ප්‍රභ කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් 2016 මැයි 19 වන දින අමාත්‍ය ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු විසින් රජයට රුපියල් මිලියන 40.1 ක පාඩු සිදු කළ බවට චෝදනා ගොනු කර තිබිණ,

කොමිෂන් සභාවට අනුව අමාත්‍යවරයා රජයේ සේවකයින් දේශපාලන හා පෞද්ගලික හේතූන් මත යොදා ගැනීම නිසා මෙම පාඩුව සිදුවී තිබේ.

මෙම නඩුවේ හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෆකීර් ද චෝදනා ලැබ සිටියහ.

2010 සහ 2014 කාල සීමාව තුළ අමාත්‍යවරයාගේ පෞද්ගලික හා දේශපාලන කටයුතු සඳහා සමුපකාර තොග වෙළඳ ආයතනයේ (සතොස) සේවකයින් 153 ක් සේවයේ යොදවා ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල විය.

අමාත්‍යවරයා සහ නඩුවේ අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී යැයි කියමින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතා ඉදිරිපත් කර තිබිණ.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් අධිකරණය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීම ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබිණ.

මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුව කොළඹ මහාධිකරණයට සංශෝධන පෙත්සමක් ගොනු කළේය.

මෙම සංශෝධන පෙත්සම විභාගයට ගැනුණු අතර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීරණය කළේ අමාත්‍ය ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවයි.

එම නිසා ඇමතිවරයා නඩුවෙන් නිදහස් කරන ලෙස මහාධිකරණය නියෝග කළ අතර තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය.

Facebook Comments