ජිනීවා නිත්‍ය නියෝජිත වූ බටලන්දේ චූදිත තඩි ප්‍රියන්ත

ජිනීවා නිත්‍ය නියෝජිත වූ බටලන්දේ චූදිත තඩි ප්‍රියන්ත

රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැදගත්ම තැනක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ 88- 89 කාලයේ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු චූදිතයෙකු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම තනතුරට පත්කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාය. දේශපාලන ක්ෂේත්‍රයේ ‘තඩි ප්‍රියන්ත’ නමින් ප්‍රකටව ඇත්තේ ඔහු ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලය පිහිටි ස්විසර්ලන්තයේ ජිනීවා සැසිවාරයන් ට අදාළ සියලු කටයුතු ලංකාව වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ මෙම නිත්‍ය නියෝජිතයාටය. මෙම තනතුරට මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු පත්කිරීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

සපුගස්කන්ද නිවාස යෝජනා ක්‍රමයේ පවත්වාගෙන ගිය බව කියන බටලන්ද වධකාගාරයේ සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාට එරෙහිව වූ චෝදනාවලින් ඔහු තවමත් නිදොස් කොට නිදහස් කර නොමැත.

බටලන්ද ඝාතන චෝදනා එල්ල වී තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් 2000 අගෝස්තු 03 දා කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ සාක්ෂි මත සී. ඒ. චන්ද්‍රප්‍රේම අත්අඩංගුවට ගැණින. ඒ එම වසරේ අගෝස්තු 15 වැනිදාය.

කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කළ නීතීඥ චරිත ලංකාපුර, නීතීඥ කාංචන අබේපාල, ගම්පහ අධිකරණයේ නීතීඥ නිශ්ශංක සහ කැළණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා යන පිරිසගේ ඝාතන සම්බන්ධයෙන් ඩග්ලස් පීරිස් විසින් ලබාදුන් දිවුරුම් පෙත්සමේ සඳහන් කරුණු විමර්ශනය කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චන්ද්‍රප්‍රේම අත් අඩංගුවට ගෙන තිබිණි. පසුව නීතිපතිවරයා විසින් එම නඩුව ඉවත් කරගෙන තිබේ.

Facebook Comments