ජාතිකවාදය යනු නව තාක්ෂණය යුගයේ යථාර්ථයකි.

ජාතිකවාදය යනු නව තාක්ෂණය යුගයේ යථාර්ථයකි.

ඔබ ජීවත් වන්නේ මීට වසර දාහකට පෙර එනම් වර්ෂ 1019 යැයි සිතන්න. ලක්දිව වැසියකු ලෙස ඔබ මුහුණ දෙන ප්‍රධාන සිදුවීම නම් අනුරාධපුර රාජධානියේ බිඳවැටීමත් සමග උද්ගත වන අරාජිකත්වයේ ඛේදවාචකයයි. එම ලක්දිව වැසියා වන ඔබ තව අවුරුදු පන්සියයක් හෙවත් ශතවර්ෂ භාගයක් ඉදිරියට අනාගතය ගැන සිතුවත් සිතිය හැකිව තිබුනේ වැව් අමුණු හදන කුඹුරු කොටන සරල ගති පැවතුම් ඇති මිනිසුන් වෙසෙනා රාජාණ්ඩුවක් සහිත රටක් ගැන පමණි. රටේ අනාගත රටාව ගැන එතරම් පැහැදිලි චිත්රයක් එකොළොස් වන සියවසේ ලක්දිව රටවැසියකු වන ඔබට පුරෝකථනය කළ හැකිව තිබුණි.

ඔබ චීන ජාතිකයකු ලෙස 1019දී සමහර විට 1050දී සිදුවන සොන් අධිරාජ්‍යයේ බිඳවැටීම පුරෝකථනය කිරීමේ හැකියාව සහිත වන්නට ඉඩ තිබිණි. එහෙත් 1019 දී මෙන්ම 1050 දීත් චීනයේ සාමාන්‍ය රටවැසියා දුප්පත් ගොවියෙකි. උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර හතළිහක් පමණ වනු ඇත. දුප්පත් චීන රට වැසියා තම දරුවන්ට වී වගා කරන හැටි කොන්ෆියුස් ග්‍රන්ථ කියවන හැටි අසුපිට නැග සටන් කරන හැටි තම දියණියන්ට කීකරු භාර්යාවන් ලෙස කල් ගෙවන සැටි උගන්වනු ඇත. එහෙත් 2050 දී අප රට කෙබඳු රටක් දැයි අපට 2019දී ශ්‍රී ලාංකිකයන් වන අපට පුරෝකථනය කළ හැකිද?අපට මෙන්ම චීන ජාතිකයාටද 2050 චීනය ගැන පුරෝකථනය කළ නොහැකිය. ඒ අතින් පැරණි මිනිසා තම සාපේක්ෂ අනාගතය ගැන දැණුවත්ව වාසය කළේය. දැණුම් සමාජයක වසන නූතන මිනිසාට එම දැණුවත්භාවය වත් නැත.

අප ජීවත් වන විසි එක්වන සියවසේ ජන ජීවිතය වෙනස් වන්නේ අපට සිතා ගැනීමටවත් නොහැකි වේගයකිනි. මේ වේගවත් වෙනසේ කර්තෘකයා තාක්ෂණයයි. නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය විසින් හඳුන්වා දෙනු ලබන වෙනස් කම් මහා යුගකාරක විපර්යාසයන් රාශියක් අප හමුවේ මවමින් තිබේ. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අනාගතය අඩුම තරමින් මෑත අවුරුදු දහයකටවත් පුරෝකථනය කළ නොහැකි වීමය.

මේ විපර්යාස මගින් සිදුකර තිබෙන ප්‍රධානම විපර්යාස වන්නේ මහා ආඛ්‍යාන බිඳ දැමීමය. ප්‍රධාන දේශපාලන මහා ආඛ්‍යාන තුනක් මේ වෙනස් නම් නිසා අර්බුදයට යැවිණි. ඒ කොමියුනිස්ට්වාදය, ජාතික වාදය සහ ලිබරල්වාදයයි. පසුගිය 1938දී මේ මහා ආඛ්‍යාන තුනෙන් එකකට අනුව තම දේශපාලන දෛවය සකසා ගැනීමට ලෝක වැසියාට අවස්ථාව ලැබුණි. 1968 වන මෙයින් එකක්ද 1998දී තව එකක්ද ඓතිහාසික අර්බුදයකට ලක්ව ලිබරල් මහා ආඛ්‍යානය පමණක් ඉතිරි විය. එහෙත් 1918 වන විට ලිබරල් මහා ආඛ්‍යානයද අර්බුදයට ගොස් හමාරය. දැන් මහා ආඛ්‍යාන නැත. ඇත්තේ තොරතුරු තොරතුරු සහ තව තවත් තොරතුරු පමණි.

මේ තොරතුරු විධිමත් ලෙස සකසා ගනිමින් මානවයාට ලෝක දැක්මක් සකස් කර නොගන්නේ නම් ලෝක මානව සමාජයක මහා අරාජිකත්වයකට ඇද වැටෙනු ඇත. හොබ්ස් පැවසූ පරිදි අරාජිකත්වය මිනිසාට ලබා දෙනු ඇත්තේ ‘හුදකලා අසරණ කාලකන්ණි කුරිරු සහ කෙටි ජීවිතය. එහෙයින් නැනෝ, ජෛව, කෘත්රිම බුද්ධිය, සහ තොරතුරු තාක්ෂණය මෙන්ම සමාජය සංවිධානය කරන මහා ආඛ්යානයක්ද අපට නැවතත් මේ සියවසට අවශ්‍ය වන්නේය.
එබඳු මහා ආඛ්යානයක් ගොඩනගා ගැනීමේදී ලිබරල්වාදයේ මිනී පෙට්ටියට අවසන් ඇණය ගැසීමට අප ඉක්මන් නොවිය යුතුය. නූතන මිනිසාට නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගෙන දුන්නේ ලිබරල් වාදයයි. දේශපාලන සුබවාදය මුල්කරගත් ලිබරල්වාදය මානව චින්තනයෙන් සහමුලින්ම අතුගා දැමීමද පහසු වන්නේ නැත.

කොමියුනිස්ට්වාදය බිඳ වැටුනද එමගින් මතුකරන ලද සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලුව අදටත් ඉතිරිව පවතී. මාක්ස්වාදය පට්ටපල් බොරුවක් යැයි කීම පහසුය. එහෙත් සමාජ සාධාරණත්වය පට්ටපල් බොරුවක් යැයි කීම පහසු නොවේ. සමාජ අසාධාරණය පිළිබඳ වත්මන් යුගයේ අලුත් ස්වරූප මතුවෙමින් තිබේ. ‘ඩේටා ඇති’ සහ ‘ඩේටා නැති’ වශයෙන් නව ඇති නැති පරතරයක් මතුවෙමින් ඇත. ඒ අනුව සමාජ සාධාරණත්වය පිළිබඳ නව ලෝක දැණුමක් තනා ගැනීමේදී සමාජවාදයේ මතවාදී උපකරණ අපට නව වටයකින් අවශ්‍යවනු ඇත.

ජාතිකවාදය සහ අනන්‍යතාවාදී අදහස් තුරන්වී ලෝකය තනි යායක් වනු ඇතැයි ලිබරල්වාදය බලාපොරොත්තු වුවද නූතන තාක්ෂණය ලෝකය අන්‍යතා දේශපාලනයට නව ජවයක් ලබා දී ඇත. ජාතිකවාදය යනු නව තාක්ෂණය යුගයේ යථාර්ථයකි. එහෙත් ජාතිකවාදය පසුගිය සියවසේ මුහුණ නොදුන් ගැටලුවකට මුහුණ දෙමින් ඇත එනම් ගෝලීය ගැටලු වලට ජාතිකමය විසඳුම් නැති බවය. මහා ආඛ්යානයකට ජාතිකවාදය මුසුකර ගැනීමේදී එම යථාර්ථයටද මුහුන දිය යුතුය.
විසිවන සියවසේ මිනිසා මුහුන නොදුන් විසි එක්වන සියවසේ මිනිසා මුහුණ දෙන දෛනික ගැටලුවක් වන්නේ පරිසර අර්බුදයයි. ඉදිරි වසර දහය ඇතුළත ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි පෙරකීමට නොහැකි එක් හේතුවක් වන්නේ පරිසරය දක්වන ප්‍රතිචාර එන්න එන්නම දරුණු වන බැවිනි. එහෙයින් පරිසර සහජීවන වාදයක් කැටි කරගත් මහා ආඛ්යානයක් අපට අද අවශ්යය. ලෝක දෘෂ්ටියක් සකසා දීම තාක්ෂණයට කළ හැකි කටයුත්තක් නොවේ. එයට කළ හැක්කේ තොරතුරු ලබාදීම පමණි. එය කළ හැක්කේ තාක්ෂණය විසින් ලබාදෙන තොරතුරු විචාරාත්මකව පරිහරණය කළ හැකි මිනිසුන්ට පමණි.

කරුණාරත්න පරණවිතාන

Facebook Comments