ජවිපෙ දේශපාලනයේ අසාර්ථකත්වය සහ ලයනල් බෝපගේ

ජවිපෙ දේශපාලනයේ අසාර්ථකත්වය සහ ලයනල් බෝපගේ

හැත්තෑ ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වූ ලයනල් බෝපගේ මහතා තවමත් ජවිපෙ පිළිබඳව තම මතය දක්වයි. විජේවීරගේ ජීවිත කතාව පිළිබඳ නිම කළ සිනමාපටයේ තමා පිළිබඳව ඇඟවුම නිවැරදි නොවන බව පෙන්වා දෙමින් ලයනල් බෝපගේ මහතා අන්තර්ජාලයට මුදා හැර ඇති ප්‍රකාශය දීර්ඝ එකකි. ඉන් කියැවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ දේශපාලන ක්‍රමවේදයේ ඇති අසාර්ථකත්වයද?

“මා රහස් පොලීසියේ හතරවන තට්ටුවේ රඳවා ගනු ලැබ සිටියදී මෙන්ම 1983 දෙසැම්බරයේ නිදහස් කරනු ලැබූ පසුවත් රෝහණ සහෝදරයා විවෘත තලයට ගෙන එන්නට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. රජයට ඔවුන්ගේ මතවාදය කාලයක් තිස්සේ රජ කරවා ලන්නට හැකි වූයේ මේ නිසා යයි මම තවමත් කල්පනා කරමි. පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් මා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වූ විට ඔහු පැවසූයේ පළමුව ‘රොහාන්’ පැමිණ කට උත්තරයක් දිය යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට මා යෝජනා කළ හැම විටම මට ලැබුණු එකම පිළිතුර වූයේ එසේ කළ හොත් ඔහු මරා දමනු ඇති බවයි. එහෙත්, 1983-84 කාලය වන විට දකුණේ එවැනි මරා දැමීම් සිදු වූයේ නැත.”

“මා දන්නා තොරතුරුවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මා පමණක්ම නොවේ. පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත්, (රෝහණ සහෝදරයාගේ එක් කුස උපන් සොහොයුරා වූ) ආනන්ද විජේවීර සහෝදරයා සහ (ඔවුන්ගේ සමීපතම මිත්‍රයෙක් සහ ඥාතියෙක් වූ) දෙවිනුවර ආරියදාස සෙල්ලහේවා මහතා මගින් පසුව රෝහණ සහෝදරයා සමග සම්බන්ධකම් පැවැත්වූ එකල මුදල් ඇමැති වූ රොනී ද මැල් මහතාත් පසු කාලයකදී ඒ ඉල්ලීමම කර ඇත. රෝහණ සහෝදරයාගේ නීතීඥයා ලෙස ප්‍රින්ස් සහෝදරයාත් ඔවුන්ගේ සුරැකියාවට රොනී ද මැල් මහතාත් රෝහණ සහෝදරයාගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නට කැමැත්තෙන් සිටියදී පවා ජනතා විමුක්ති පෙරමුණට සහ රෝහණ සහෝදරයාට කරන ලද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි යන්න පැහැදිලි කළ නොහැකිය.”

“අනෙක් අතට මේ සම්බන්ධයෙන් කෙනෙකුට සාධාරණ දේශපාලන ප්‍රශ්නයක්ද නැගිය හැකිය. එනම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විවෘත දේශපාලනයට නොපැමිණීමට තීරණය කරන්නට ඇත්තේ රජය විසින් 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රයෝජනයට ගනිමින් දකුණේ සිංහල බහුතරය දිනා ගැනීම සඳහා කටයුතු කිරීමේදී දේශපාලන වාසියක් සළසා ගැනීමට අනියම් උත්සාහයක නිරත වී සිටි නිසාද යන්නයි. එවකට උතුරේ දෙමළ ජාතිකවාදී අරගලයට එරෙහිව සිංහල ජාතිකවාදය කර පින්නාගෙන දකුණේ සිංහල ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට ප්‍රබල වේදිකාවක් ගොඩ නගා දෙමින් ඔවුන් සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි නායකත්වය පසු කාලයේදී කැපවී කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකිය.”

ලයනල් බෝපගේ – කලම්බු ටෙලිග්‍රාෆ් 2019 ජනවාරි

Facebook Comments