චන්ද්‍රිකා ගැන තීරණයක් 05 වෙනිදා ගන්නවා – ශ්‍රී.ල.නි.ප මහ ලේකම් කියයි

චන්ද්‍රිකා ගැන තීරණයක් 05 වෙනිදා ගන්නවා – ශ්‍රී.ල.නි.ප මහ ලේකම් කියයි

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ හිටපු ජනපතිනිය සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය සහාය පළ කිරීමට තීරණය කිරීම නිසාය.මේ නිසාවෙන් පක්ෂයේ මහ ලේඛම් දයාසිරි ජයසේකර මහතා හා හිටපු ජනපතිනිය අතර විශාල මත ගැටුමක් නිර්මාණය වී ඇති ආකාරය දක්නට ලැබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගත යුතු විනය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනිද්දා (5) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබියදී එයට පිටින් ගොස් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීම පක්‍ෂ විනය කඩකිරීමක් බව මහලේකම්වරයා සඳහන් කළේය.

පක්‍ෂ තීන්දුවට පිටින් ගොස් කටයුතු කරනු ලබන පක්ෂ සංවිධායකවරුන්ගේ සංවිධායක තනතුරු ඉවත් කිරීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා සදහන් කරන ලදී.

හිටපු ජනාධිපතිනියගේ සහ මේ වන විටත් පක්‍ෂයේ සංවිධායක ධුරවලින් ඉවත් කරනු ලැබ සිටින පිරිසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (5) සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව කියන සමුළුවකට පළාත් පාලන මන්ත‍්‍රීවරුන් සහ සංවිධායකවරුන් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව ද ක‍්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකින බව කියමින් කටයුතු කරන්නේ පක්‍ෂය වෙනුවෙන් නොව තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් බවද මහලේකම්වරයා කියා සිටියේය.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තෙවරක්ම දෙකඩ කළ අයෙක් ලෙස ඉතිහාසගත වන බවද ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය සදහන් කළේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියන තැනට පත්කළ එක්සත් ජාතික පක්ෂයෙන් පැන ආ දයාසිරි ජයසේකර වැනි අයෙක් ක්‍රියා කරන්නේ කුමන වාසි උදෙසාද යන්න රටේ ජනතාව ඉතා හොදින් තේරුම් ගෙන සිටින බවයි.

Facebook Comments