ගෝලීයකරණය සහ ජාතිකවාදය

ගෝලීයකරණය සහ ජාතිකවාදය

ලෝකයේ වරින්වර ඇති වූ නව ප්‍රවණතාවන් හේතු කර ගනිමින් ලෝක ක්‍රමය වෙනස්‌ වීය. ඒ අනුව සීතල යුද්ධය, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ලෝක සංවිධානයන්, යටත් විජිතහරණය, තුන්වන ලෝකය, මැදපෙරදිග අර්බුදයන් යනාදිය ලෝක මට්‌ටමින් විවිධ පරාසයන්හි බලපෑම් ඇති කරන ලදී. ඒ අතරින් ගෝලීයකරණය තත්කාලීන වැදගත් සන්දර්භයකි.

එය කාලීන සන්දර්භයක්‌ ලෙස යුරෝපා කේන්ද්‍රීය සංකල්පයක්‌ බව බොහෝ බුද්ධිමතුන් පැවසුවත් බොහෝ විචාරකයන්ගේ අදහස වන්නේ එය රෝම යුගය හෝ ඊට සමකාලීන පරාසයක්‌ දක්‌වා විහිද යන්නක්‌ බවයි. අතීතයේ ලෝකයේ ආසියාව, යුරෝපය, මැදපෙරදිග හා අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පැවති වෙළෙඳාම පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එය ගෝලීයකරණ සංකල්පයට සමාන නොවූවත් ගෝලීයකරණයේ මුල් අදියරෙහි එක්‌ අවස්‌ථාවක්‌ නියෝජනය කරන බව හඳුනාගත හැකිය.

අතීත සේද මාවත හරහා ද සිදුවූයේ එවැනි ගෝලීයකරණයක්‌ යෑයි බොහෝ ඉතිහාසඥයන් සහ බුද්ධිමතුන් පෙන්වාදීමට උත්සාහ කරති. නිදසුනක්‌ ලෙස ශ්‍රී ලංකාව ගතහොත් අතීතයේ ලංකාව ප්‍රතිඅපනයනය මධ්‍යස්‌ථානයකි. එය පුරාවිද්‍යාත්මක සාධකයන් හරහා සාධනය වන්නා සේම විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් හරහා ද සනාථ වෙයි. ඒ හරහා අතීතයේ ආර්ථික අංශය කේන්ද්‍රකර ගත් ගෝලීයකරණයක්‌ වූ බව සනාථ වෙයි.

කෙසේ වෙතත් 19 වැනි සියවසේ මුල්කාලීනව නව න්‍යායක්‌ ලෙස ආරම්භ වූ මෙය 1970 හා ඊට පසුකාලීන දශකයන් තුළ සීග්‍රයෙන් වර්ධනය වූවක්‌ විය. එය හුදෙක්‌ එක්‌ ක්‌ෂේත්‍රයක්‌ අළලා ඇති වූවක්‌ නොවීය. විවිධ පැතිකඩයන් ඒ ඔස්‌සේ ආවරණයට ලක්‌ විය. එහි දී ගෝලීයකරණ සන්දර්භය තුළ ජාතිකවාදය සමඟ යම් සබඳතාවක්‌ පවතින බව ඒ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකිය. ඒ අනුව ජාතිකවාදය කෙරේ ගෝලීයකරණය දක්‌වන සුබවාදී හා අසුබවාදී බලපෑම් පිළිබඳව මේ තුළින් අධ්‍යයනය කරනු ලබයි. දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්‌කෘතික වශයෙන් ගෝලීයකරණය විසින් ජාතිකවාදයට අත්කර දුන් ප්‍රතිඵල පිළිබඳව අධ්‍යනය කරනු ලබයි.

තත් සංකල්පයන් අධ්‍යයනය කිරීමේ දී ගෝලීයකරණය යනු කුමක්‌දැයි හඳුනාගැනීමද වැදගත් වෙයි. ගෝලීයකරණය හුදෙක්‌ මෙය යෑයි පැවසීමට අසීරු ඉතා පුළුල් විෂය ක්‌ෂේත්‍රයක්‌ ලෙස පෙන්වාදිය හැකිය. ඒ අනුව එය දේශපාලනික, ආර්ථික හා සන්නිවේදන ක්‌ෂේත්‍රයන් ඔස්‌සේ වඩා පුළුල් ලෙස ව්‍යාප්ත විය. වර්තමානයේ එය ආර්ථික ක්‌ෂේත්‍රයේ වඩාත් පුළුල් ලෙස පැතිරී ඇත. සරලව ගෝලීයකරණය යනු -ආර්ථීක, මූල්‍ය, වාණිජ හා ඒකාබද්ධතාවය ගෝලීයකරණය යනුවෙන් හඳුන්වනු ලබයි.

එය තවදුරටත් පුළුල් අර්ථයෙන් සලකා බැලූ විට -අභ්‍යන්තරික ඒකාබද්ධතාවන් අනුසාරයෙන් සකස්‌ වූ ලෝක දෘෂ්ටියකින් නිෂ්පාදන අදහස්‌ හා අනෙකුත් අංශ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියකි. ඔක්‌ස්‌ෆර්ඩ් ශබ්ද කෝෂය එය අර්ථ ගන්වන්නේ the fact that different cultures and economic systems around the world are becoming connected and similar to each other because of the influence of large multinational companies and of improved communication යනුවෙනි.

මේ තුළින් අදහස්‌ වන්නේ වෙනස්‌ වූ සංස්‌කෘතීන් හා ආර්ථික ක්‍රමයන්, දියුණු සන්නිවේදන ක්‍රමවේදයන් සහ දැවැන්ත බහුජාතික සමාගම්වල බලපෑම කේන්ද්‍ර කරගනිමින් ලෝකය එක හා සමාන කිරීම සහ ඒකාබද්ධ කිරීම ගෝලීයකරණය යන්නයි. මෙම ක්‍රියාවලිය විසින් ලෝකය ඒකාබද්ධ කොට ඇත. බොහෝ විචාරකයන් පවසන්නේ ලෝකය විශ්ව ගම්මානයක්‌ බවට මෙම ක්‍රියාවලියෙන් පසුව පත් වූ බවයි. 

වර්තමාන ලෝකය තුළ වැඩිමනත් කතා බහට ලක්‌ වන න්‍යායන් හෝ සංකල්පයන් අතර ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්‌තවාදය වැනි සංකල්පයන් ඉතා වැදගත් වේ. ඒ අනුව බලන කල ලෝකයේ වැඩිම අවධානයට ලක්‌ වූ සංකල්පයන් අතරට එක්‌ වන තවත් සංකල්පයක්‌ ලෙස ජාතිකවාදය (Nationalism) පෙන්වාදිය හැකිය. අතීතයට පමණක්‌ නොව වර්තමාන සමාජ සන්දර්භයන්ට ද එකසේ වලංගු වන න්‍යාය පද්ධතියක්‌ ලෙස හැඳින්විය හැකිය. නමුත් පසුගිය ශත වර්ෂය තුළ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි සංකල්පයක්‌ වන ජාතිකවාදය වර්තමාන ලෝකයේ කේන්ද්‍රීය සාධකයක්‌ ලෙස ඉස්‌මතුව ඇති බව පෙනේ.

ජාතිකවාදය යනු කුමක්‌දැයි යන ප්‍රශ්නයට ගෝලීයකරණය හා එකසමව එක එල්ලයේ පිළිතුරක්‌ ලබාදිය නොහැකිය. නමුත් ඔක්‌ස්‌ෆර්ඩ් ශබ්ද කෝෂය ජාතිකවාදය අර්ථගන්වනු ලබන්නේ The desire by a group of people who share the same race” culture” language” etc’ to form an independent country යනුවෙනි. එයින් අදහස්‌ වන්නේ සජාතීය ලක්‌ෂණයන්ගෙන් යුත් පිරිසකගෙන් යුක්‌ත රාජ්‍යයක්‌ නිර්මාණය කිරීම සඳහා ඇතිවන්නා වූ කැමැත්ත යන්නයි.

එමෙන්ම බ්‍රිටැනිකා විශ්ව කෝෂය එය අර්ථ ගන්වන්නේ –Nationalism” ideology based on the premise that the individual’s loyalty and devotion to the nation-state surpass other individual or group interests’˜” යනුවෙනි. එකී නිර්වචනයේ සරල අදහස වන්නේ පුද්ගල සහ කණ්‌ඩායම්හි ආශාවන් ඉක්‌මයමින් ජාතික රාජ්‍ය උදෙසා පවතින්නා වූ ළැදියාව සහ පක්‌ෂපාතිත්වය පිළිබඳ න්‍යාය ජාතිකවාදය යන්නයි. බොහෝ උගතුන් ජාතිකත්වය නම් සංකල්පය – ජාතිය පිළිබඳව ඇතිවන හැඟීම’ යනුවෙන් ද අර්ථ කථනය කරයි. එය තවදුරටත් පුළුල්ව විග්‍රහ කිරීමේ දී – යම් නිශ්චිත දේශ සීමාවක්‌ තුළ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ජනතාවක්‌ තමන් සියලු දෙනාම එකම ජාතියකට අයත්ය යනුවෙන් ඇති වන්නා වූ මානසික සිතුවිල්ල’  යනුවෙන් හඳුනාගත හැකිය.

මේ අනුව දේශපාලනික වශයෙන් ජාතිකවාදය හා ගෝලීයකරණය අතර පවතින සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. රාජ්‍ය හා පුද්ගලයා අතර පවතින සම්බන්ධතාවයේ ශක්‌තිමත්භාවය ජාතිකත්වය වර්ධනය කිරීමට හේතු වේ. බොහෝ න්‍යායාචාරීන් පෙන්වාදුන්නේ පුද්ගලයාට රාජ්‍යයෙන් වියුක්‌තව ජීවත්වීමට නොහැකි බවයි. ඒ අනුව පුද්ගලයාට රාජ්‍යය පිළිබඳ ඇතිවන්නා වූ හැඟීම දේශප්‍රේමය, දේශවාත්සල්‍ය, දේශමාමකත්වය ජාතිකවාදයක්‌ නිර්මාණය කිරීම කෙරේ හේතුවෙයි. ඒ අනුව නිශ්චිත දේශ සීමාවකින් යුක්‌ත රාජ්‍ය ජාතිකවාදය නිර්මාණය කිරීමෙහිලා මූලික සාධකය වෙයි.

ගෝලීයකරණය හා ඇතිවන විවිධ ප්‍රස්‌තුතයන් හේතුවෙන් ජාතිකවාදය වර්ධනය වීමට මෙන්ම පසුගාමී තත්ත්වයට පත්වීමට බලපෑ සාධකයන් රැසක්‌ හඳුනාගත හැකිය. කෙසේ වෙතත් ගෝලීය සන්දර්භය හේතුවෙන් පුද්ගලයා හා රාජ්‍යය අතර පවතින සම්බන්ධතාවට විශාල ගැටලු නිර්මාණය කොට ඇත. ලෝකය තාක්‌ෂණික වශයෙන් එකට එක්‌ වී ඇති නිසාවෙන් පුද්ගලයා හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාවය පළුදු කිරීමට එය සමත්ව ඇත. යම් අවස්‌ථාවක පරිබාහිර සමාජයන් අනුගමනය කරනු ලබන විවිධ න්‍යායන් මෙන්ම සංකල්පයන් පැමිණීම හේතුවෙන් එම පරිවර්තනය සීග්‍ර කොට ඇත. එමෙන්ම ගෝලීයකරණය තුළ රාජ්‍යයට වඩා පුද්ගලයාට ස්‌ථානයක්‌ හිමි වීම නිසා තවත් ආකාරයකට රාජ්‍යය නොවැදගත් තත්ත්වයට පත්වී ඇත. ජාතිකවාදය වර්ධනය වීමට නම් පුද්ගලයා හා රාජ්‍ය යන අංශයන් දෙකම අවශ්‍ය වේ. මෙලෙස ගෝලීයකරණය හරහා පුද්ගලයා හෙවත් පුරවැසියා රාජ්‍යය සමඟ පවතින සම්බන්ධය දුරස්‌වීම ජාතිකවාදය දුර්වල කිරීමට හේතු වේ.

එසේම රාජ්‍යයේ දේශ සීමාව තුළ වාසය කරනු ලබන සියලුම පුරවැසියන් තමන් එකම ජාතියකට අයත්වන්නේ යෑයි යනුවෙන් ඇතිවන හැඟීම ජාතිකවාදයට ඉතා වැදගත් වේ. ඒ අනුව වාර්ගික හැඟීම් වලින් තොරව ජාතික හැඟීම් ඒ තුළින් අවධාරණය වෙයි. නමුත් ලෝකයේ යම් අවස්‌ථාවන්වල ගෝලීයකරණයත් සමඟ රාජ්‍යයන් හා ජාත්‍යන්තරය ඒකාබද්ධව පවතී. රාජ්‍ය නොව සංවිධාන, ජාත්‍යන්තර ගිවිසුම, අන්තර්ජාතික නීති මෙන්ම අන්තර්ජාතික සංවිධානයන් රාජ්‍යයේ ව්‍යqහයට බාධාවන් පමුණුවයි.

නිදසුනක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ වාර්ගික අභ්‍යන්තර සිවිල් අර්බුදය සමයේ ජාත්‍යන්තර සංවිධානයන් විශේෂයෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විශාල පීඩනයක්‌ ඇති කරන ලදී. මෙහි දී ලංකා ආණ්‌ඩුව සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් ජාතීන් අතර හොඳහිත වර්ධනය කරමින් ජාතිකත්වය නිර්මාණය කිරීමට ගන්නා වෑයමට එය මරු පහරකි. දරුස්‌මාන් වාර්තාව මෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් ඇතුළු සාමාජික රාජ්‍යයන් නිරන්තරයෙන් ලංකාවට එරෙහිව විවිධ යෝජනා සම්මත කරමින් ලංකාවේ ජාතික යාන්ත්‍රණයට විවිධ බාධා පමුණුවයි. එසේම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන් රාජ්‍යයන් තුළ අස්‌ථාවරත්වයන් ඇති කරමින් වාර්ගිකත්වය ඉස්‌මතු කිරීමට කටයුතු කරනු ලබයි. මෙහි දී ඉතා පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අවශ්‍යතාවන් මත ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන් ජනතාව කුපිත කරමින්, වාර්ගිකත්වය ඉස්‌මතු කිරීමට විශාල වෑයමක්‌ දරයි.

එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් ලෝකයේ බොහෝ රාජ්‍යයන් තුළ වාසය කරන විවිධ වාර්ගිකයන් වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා සටන් කිරීම පෙන්වාදිය හැකිය. නිදසුන් ලෙස ශ්‍රී ලංකාව, සුඩානය, කොසෝවෝ ආදී රාජ්‍යන් පෙන්වාදිය හැකිය. මේ නිසා ජාතිකත්වයට යම් බලපෑමක්‌ සිදුවන ආකාරය හඳුනාගත හැකිය.

 එසේම ලෝකය එකට එක්‌වීමත් සමඟම බොහෝ රාජ්‍යයන්වල වාසය කරන පුරවැසියන් වෙනත් රාජ්‍යයන්වලට සංක්‍රමණය වීම වැඩි වෙයි. හුදෙක්‌ සංචාරකයන් ලෙස නොව ස්‌ථීර පදිංචිකරුවන් බවට ඇතැම් විට ඔවුන් පත් වේ. මේ නිසා රාජ්‍යයන් තුළ ඇතිවන ජන සංයුතියේ වෙනස්‌කම්වලට තදින් බලපානු ලබයි. එය රාජ්‍යයේ දේශපාලනික පදනමට විශාල ගැටලුවකි. වෙනත් ජන කණ්‌ඩායම් රාජ්‍යයට පිවිසීමත් සමඟම රාජ්‍යයේ අභිලාෂයන් හා ඉලක්‌කයන් විශේෂයෙන්ම ජාතියක්‌ වශයෙන් ගමන් ගන්නා ව්‍යහයට බාධා පමුණුවයි.

නිදසුනක්‌ වශයෙන් ඇමරිකානු එක්‌සත් ජනපදයේ මුස්‌ලිම් හා චීන සම්භවයක්‌ ඇති පිරිස්‌ විශාල බලපෑමක්‌ සිදුකරයි. දෙවැනි ලෝක යුද්ධයට සමකාලීනව යුදෙව් ජන සංඛ්‍යාව වර්ධනය වීම නිසා ඇමරිකාව තුළ විශාල යුදෙව් ජන පිරිසක්‌ වාසය කිරීම නිසා ඇමරිකානු ජාතිකත්වයට ගැටලු ඇති වූ ආකාරය පෙන්වාදිය හැකිය. එමෙන්ම සරණාගතයන් ද ජාතිකත්වයට විශාල බලපෑමක්‌ සිදු කරනු ලබයි. එමෙන්ම ලංකාවේ මෑත කාලයේ ඇති වූ රොහින්‍යා සරණාගත ගැටලුව ද එයට කදිම නිදසුනකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිවිල් අර්බුද සමයේ ලාංකිකයන් බොහෝ දෙනෙකු යුරෝපා රාජ්‍යයන්ට මෙන්ම කැනඩාව වැනි රාජ්‍යයන්ට දේශපාලනික සරණාගතයන් ලෙස පලා ගිය අතර එබැවින් එම රාජ්‍යයන්හි ජාතිකත්වයට විශාල ගැටලු නිර්මාණය කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ ගෝලීයකරණයේ අනිටු විපාකයන් ජාතිකත්ව අදහස්‌ දුර්වල කිරීම කෙරේ හේතු වන බවයි.

එමෙන්ම ගෝලීයකරණය සමඟ ජාතිකවාදය මුහුණ දෙන තවත් ගැටලුවක්‌ නම් තාක්‌ෂණයේ වර්ධනයත් සමඟ පැමිණෙන විවිධ මුහුණුවරයන් සමඟ රාජ්‍යයට විරුද්ධව පුද්ගලයා යෙදවීමට උත්සාහ කරයි. බොහෝ විට ගෝලීයකරණයට පෙර පුද්ගලයා යනු රාජ්‍යයට අතිශය කීකරු තැනැත්තෙකි. නමුත් ගෝලීයකරණයත් සමඟ ඇති වූ විවිධ විපර්යාස හේතුවෙන් විශේෂයෙන් සන්නිවේදනයේ වර්ධනයත් සමඟ පුද්ගල අදහස්‌ සීග්‍රයෙන් වර්ධනය විය. බොහෝ විට එමඟින් පුද්ගලයා රාජ්‍යයේ ප්‍රතිපත්ති, ක්‍රියාකාරිත්වය මෙන්ම ව්‍යqහය ප්‍රශ්න කිරීමට මෙන්ම ඒ පිළිබඳව විරෝධතාවන් දැක්‌වීමට ආරම්භ විය. විශේෂයෙන්ම බටහිර හා ඇමරිකානු දේශපාලනය විසින් ඇති කළ ගැටලු ද සමඟින් නිර්මාණය වූ අරාබි වසන්තය එයට වඩාත් සාධාරණ නිදසුනකි.

ටියුනීසියාවෙහි පලතුරු කරත්තයක්‌ නිසා ඇති වූ ගැටලුවක්‌ පාදක කරගනිමින් එය සමාජ මාධ්‍යයන් හරහා රටපුරා පැතිරෙමින් අවසානයේ බෙන් අලිගේ ආණ්‌ඩුව ගෙදර යැවීම දක්‌වා වර්ධනය විය. මෙයට යුරෝපය හා ඇමෙරිකාව ඇතුළු බොහෝ රාජ්‍යයන්ගේ ආධාර උපකාර හිමි වූ අතර මේ හරහා මිනිසුන් ජාත්‍යන්තර මතයන් කර පින්නා ගනිමින් රාජ්‍යයට විරුද්ධ වන ආකාරය දැකිය හැකිය. ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, ඊජිප්තුව, සිරියාව ආදී රාජ්‍යයන්හි පුද්ගලයන් රාජ්‍යයට විරුද්ධ වීම සඳහා පුද්ගලයන් අභිප්‍රේරණය කිරීමට ගෝලීයකරණය විසින් සිදු කරන ලදී. මෙය ජාතිකත්වය වර්ධනය වන අවස්‌ථාවක්‌ නොව ජාතිකත්වය බිඳ දැමීමට රුකුල් දීමකි.

එසේම යම් අවස්‌ථාවල තාක්‌ෂණය පුද්ගලයා තුළ ජාතිකත්වය රෝපණය කිරීමට යම් හේතු සාධකයක්‌ වන අවස්‌ථාවන් ද දැකිය හැකිය. විශේෂයෙන්ම රූපවාහිනිය ඇතුළු සමාජ මාධ්‍යයන් ලෝක තත්ත්වය සහ රාජ්‍යයේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් පසුවේ. රාජ්‍ය විසින් මුහුණදෙන ඉතා අපහසු තත්ත්වය මෙන්ම විවිධ හදිසි තත්ත්වයන් පිළිබඳව පුද්ගලයා දැනුවත් කරනු ලබයි. මෙවැනි තත්ත්වයන් හරහා ජාතිකත්වය වර්ධනය වීමට යම් අවකාශයක්‌ සලසනු ලබයි.

ආර්ථීක වශයෙන් බැලු කල ගෝලීයකරණය සමඟ රාජ්‍යයන්ට ස්‌වකීය ආර්ථිකයක්‌ හෙවත් තමන්ගේම වූ ආර්ථිකයක්‌ පවත්වාගෙන යාමට නොහැකි වෙයි. ගෝලීයකරණයත් සමඟ රාජ්‍යයන් ආර්ථික වශයෙන් බැඳී සිටින ආකාරය හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තමන්ගේ ආර්ථිකයන් අනෙක්‌ රාජ්‍යයන්ගේ ආර්ථිකය මත රඳා පැවතීම මෙහි දී වැදගත් වෙයි. තමන්ගේම වූ නිෂ්පාදන ආර්ථිකයකට වඩා ගෝලීයකරණය සමඟ බද්ධ වූ ආර්ථිකයන් ලෝකය තුළ නිර්මාණය වේ. ලෝකයේ කිසිදු රටක ස්‌වයං පෝෂිත ආර්ථිකයන් දැකිය නොහැකිය. ඔවුන් ආනයනය හා අපනයනය මත රඳා පවතී. යම් අවස්‌ථාවක කිසියම් රටක්‌ අපනයනය සීමා කළහොත් එය බොහෝ රාජ්‍යයන්ට බලපෑමක්‌ වෙයි. නිදසුනක්‌ ලෙස ඔපෙක්‌ රාජ්‍යයන් තෙල් අපනයනය සීමා කළහොත් එය සෑම රාජ්‍යකටම බලපානු ලබයි.

නිදසුනක්‌ වශයෙන් 1970 දශකයේ අරාබිකරයේ ඇමෙරිකානු බලපෑමට විරෝධය දක්‌වමින් ඇමෙරිකාවට තෙල් සැපයීම සීමා කරන ලදී. එහෙයින් ඉන්ධන නොමැතිව මාර්ග පුරා රථවාහන නවතා තිබූ බවත් ඉන්ධනහල් සමීපයේ විශාල රථවාහන තදබදයක්‌ වූ බව සඳහන් වෙයි. එසේම ලෝකයේ එක්‌ රාජ්‍යයක්‌ තුළ සිදුවන විවිධ විපර්යාසයන් ලෝකයේ අනෙක්‌ රාජ්‍යන්ට බලපෑම් කරනු ලබයි. යම් විටෙක යම් රාජ්‍යයක සිදු වන ස්‌වාභාවික ආපදාවන් මෙන්ම හදිසි තත්ත්වයන් (යුද්ධයන්) සෘජුව ලෝක ආර්ථිකයට බලපානු ලබයි. නිදසුනක්‌ වශයෙන් 1924 දී පමණ ඇති වූ ආර්ථික අර්බුදය සහ 2010 දී පමණ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයේ දී සමස්‌ත ලෝකය තුළම ආර්ථික පරිහානිකර තත්ත්වයන් නිර්මාණය වීය. µeසිස්‌ට්‌වාදීන් ද පෙන්වාදෙන්නේ තමන්ට අනන්‍ය වූ ආර්ථිකයන් ස්‌වකීය ජාතියේ වර්ධනයට ඉවහල් වන බවයි. රාජ්‍යක ජාතිකත්වය වර්ධනය වීමට නම් තත් රාජ්‍යයේ අනෙක්‌ රාජ්‍යයන්ට ගැති නොවූ ආර්ථිකයක්‌ අවශ්‍ය වේ. නමුත් ගෝලීයකරණ සිද්ධාන්තය හරහා එය සිදු නොවන ආකාරය හඳුනාගත හැකිය.

අනෙක්‌ අතින් රාජ්‍යයන්ගේ ආර්ථිකයන්ට බහු ජාතික සමාගම් ද විශාල මැදිහත්වීමක්‌ සිදු කරයි. එබැවින් බහුජාතික සමාගම් යනු ගෝලීයකරණයේ එක්‌ දැවැන්ත ප්‍රතිඵලයකි. ඒ අනුව බොහෝ අවස්‌ථාවල රාජ්‍යයේ සමස්‌ත ආර්ථිකයම පාලනය කිරීමට ඇතැම් බහු ජාතික සමාගම් උත්සාහ කරයි. නිදසුනක්‌ වශයෙන් ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඒකාධිකාරය හොබවනු ලබන්නේ ප්‍රීමා සමාගම විසිනි. යම් හෙයකින් රාජ්‍යය සමඟ එම සමාගම අර්බුදයක්‌ ඇති කර ගත්තේ නම් රාජ්‍යයට එම සැපයුම් නොලැබී යයි. ඒ හරහා රාජ්‍යය හා පුරවැසියා සමඟ පැවති සම්බන්ධය බිඳ වැටෙන අතර ජාතිකත්වය වර්ධනය වීමට නම් රාජ්‍යයේ ආර්ථික වර්ධනය වැදගත් වේ. රාජ්‍යයේ යටිතල පහසුකම් වර්ධනය වී පුද්ගලයා යම් සාධනීය තත්ත්වයකට පත් වූ විට ජාතිකත්වය ඉහළ යන ආකාරය හඳුනාගත හැකිය. ඒ බව හිට්‌ලර් සමයේ මෙන්ම බිස්‌මාක්‌ සමයේ ජර්මන් ආර්ථික වර්ධනය සමඟ දැකගත හැකිවීය. මෙලෙස රාජ්‍යය හා බහුජාතික සමාගම් අතර ඇතිවන ගැටලු සහ ඔවුන් රාජ්‍යයේ ආර්ථිකයට දායකත්වය නොසැපයීම හරහා රාජ්‍යයේ ආර්ථිකය බිඳ වැටී ක්‍රමයෙන් ජාතිකත්වය බිඳ වැටෙන ආකාරය හඳුනාගත හැකිය.

එසේම ගිවිසුම් පිළිබඳව ද මෙහි දී වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. ගිවිසුම් අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයේ දී ඉතා වැදගත් වෙයි. ඇතැම් ගිවිසුම් ජාතිකත්වය වර්ධනය කිරීම කෙරේ හේතු වන අතරම ඇතැම් ගිවිසුම් ජාතීකත්වය බිඳහෙළීම කෙරේ හේතු වනු ලබයි. නිදසුනක්‌ වශයෙන් 1987 ඉන්දු ලංකා ගිවිසුම පෙන්වාදිය හැකිය. ඒ හරහා ලංකාවේ සන්ධීය ක්‍රමයට විරුද්ධව බොහෝ මතවාදයන් නිර්මාණය වූ අතර එය ලංකාවේ ජාතිකත්වය කෙරේ විශාල වශයෙන් බලපාන ලදී. එම ගිවිසුම මඟින් ඉන්දීය බලපෑම ඉතා වර්ධනය වූ අතර ජාතියක්‌ වශයෙන් ඊට විරුද්ධව සියලුම ජාතීන් පෙළගැසෙන ආකාරය හඳුනාගත හැකිය. එසේම ඇතැම් ගිවිසුම් ජාතිකත්වය වර්ධනය කරමින් රටේ ඉදිරි ගමන කෙරේ බලපාන ආකාරය ද හඳුනාගත හැකිය. ඊට නිදසුන් ලෙස සිරිමාවෝ සමයේ චීන ලංකා ගිවිසුම් පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් යම් යම් අවස්‌ථාවන්හි දී ගෝලීයකරණය ජාතිකත්වය වර්ධනය කිරීමට ද ඉවහල් වන ආකාරය හඳුනාගත හැකිය.

නමුත් එහි සාධනීය අවස්‌ථාවක්‌ ලෙස ගෝලීයකරණය සමඟ බොහෝ රාජ්‍යයන් විසින් සිය ආයෝජනයන් වැඩි කර ගන්නා ලදී. විවිධ සමාගම් හා විවිධ රාජ්‍යයන් සමඟ ගිවිසුම් ඇති කරගනිමින් රාජ්‍යයේ ආර්ථිකය වර්ධනය කරන ගන්නා ලදී. ඒ අනුව රාජ්‍යයට ස්‌වකීය ආර්ථිකය වර්ධනය කිරීමට අවස්‌ථාව උදා වෙයි. ඒ අනුව ජාතික ඉතුරුම් වර්ධනය වී පුද්ගල අභිවෘද්ධිය උදෙසා රාජ්‍යට වැය කිරීමට තරම් ප්‍රාග්ධනය හිමි වේ. ඒ අනුව 1977 ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයත් සමඟම විවිධ ආයෝජන ගලා ඒම සිදු වූ අතර එම දශක කිහිපය තුළ ලංකාවේ ආර්ථීක වර්ධන වේගය ඉතා ඉහළ අගයක්‌ ගත් බව සඳහන් වේ. මේ නිසා රාජ්‍යයේ ආර්ථික අභිවෘද්ධියක්‌ හෙවත් සමෘද්ධියක්‌ ඇති වන විට පුද්ගලයාගේ අභිවෘද්ධිය ද එයින් සාධනය වන අතර ඒ හරහා ජාතිකත්වය වර්ධනය වේ. ඒ අතරම විශාල වශයෙන් ලංකාවට ආයෝජකයන් පැමිණ ආයෝජන කලාප බියගම, කටුනායක, කොග්ගල ආදී ප්‍රදේශවල නිර්මාණය වෙයි. මේ හරහා රැකියා වියුක්‌තිය අවම වී රාජ්‍ය ආදායම වර්ධනය වීම ජාතිකත්වය වර්ධනය කෙරේ හේතු සාධක වීය.

මේ ආකාරයට ගෝලීයකරණය යනු කුමක්‌ද හා ගෝලීයකරණය විසින් ජාතිකවාදය සමඟ පවත්වන සබඳතාවන් පිළිබඳව අධ්‍යයනය කරන ලදී. සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික අතින් ජාතිකවාදය හා ගෝලීයකරණය අතර වන සම්බන්ධය තවදුරටත් පුළුල්ව විග්‍රහ කොට ඇත. මේ සන්දර්භය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ජාතිකවාදයට ගෝලීයකරණය සාධනීය හා නිෂේධනීය වශයෙන් බලපෑම් කර ඇති බව පෙනේ. විටෙක ජාතිකවාදය පෝෂණය කිරීමට හා එය වර්ධනය කිරීමට මෙන්ම තවත් අවස්‌ථාවක ජාතිකවාදය දුර්වල කොට හීන කිරීමට එය බලපෑම් කර ඇති බව තවදුරටත් හඳුනාගත හැකිය.

උදාර රත්නායක
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Facebook Comments