“කොරෝනා තවමත් සමාජගත වෙලා නෑ.”

“කොරෝනා තවමත් සමාජගත වෙලා නෑ.”

තවමත් කිසිදු ලෙසකින් කොවිඩ් – 19 රෝගය සමාජගත වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.

නුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු අති විශාල බවත් එමනිසා රටපුරා සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයින් වාර්තාවන බවත් ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (ඔක්තෝබර් 26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා ඒ පිළිබඳ ව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා පැහැදිලි කරන ආකාරයට කොවිඩ් – 19 වෛරසය සමාජගත වී ඇත්නම් ආසාදිතයින් එකිනෙකාට සම්බන්ධතාවයක් නොමැති බවයි. නමුත් එවැනි තත්ත්වයක් මෙරට තුළ වාර්තා නොවන බවත් මෙරටින් වාර්තාවන සියලුම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙරට තුළ හොඳ සෞඛ්‍ය පද්ධතියක් තිබෙන බැවින් කොවිඩ් තත්ත්වට මුහුණදීමට සහ පාලනය කිරීමට හැකියාව තිබෙන අතර ආසාදිතයින්ට කිසිදුවිටකදී අපහසුතාවයකට මුහුණදීමට සිදුවී නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව කොවිඩ් – 19 රෝගය ව්‍යාප්තවීමත් සමග මත්ස්‍ය ආහාර ගැනීමට බියක් ඇතිකරගැනීමට අනවශ්‍ය බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

ආහාර සැකසීම, පිසීම සහ පිරිසිදු කිරීම් කටයුතු නිවැරදිව සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදුකරන්නේ නම් එයින රෝගය ව්‍යාප්තියන් සිදුනොවන බවද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයින් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD ඒකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.”

Facebook Comments