කම්කරු අමාත්‍යාංශ සේවකයෙකුටත් කොරෝනා..

කම්කරු අමාත්‍යාංශ සේවකයෙකුටත් කොරෝනා..

කම්කරු අමාත්‍යාංශයේ සේවකයෙක් කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අනුරාධපුර, ප්‍රීමන් මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම පුද්ගලයා පසුගිය බදාදා දිනයේ දී අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගොස් තිබු අතර, එහිදී අදාළ අමාත්‍යාංශයේ සේවකයින් කිහිපදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවට වාර්තාවීමත් සමඟ ඔහු පසුගිය 28 වනදා අනුරාධපුර රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු වී තිබේ.

එහිදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව අනුරාධපුර මහනගර සභාවේ, නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“කම්කරු අමාත්‍යාංශයේ සේවය කරන සේවකයෙක් ගිය බදාදා දවසේ එයාගේ නිවසට ඇවිල්ලා තියෙනවා අනුරාධපුර, දෙවැනි පටුමගේ ප්‍රීමන් මාවත ආසන්නයේ. ගෙදර ආවට පස්සේ අමාත්‍යාංශයෙන් කථා කරලා කියලා තියෙනවා අමාත්‍යාංශයේ සේවකයින් 5 දෙනෙක්ගේ පීසීආර් පොසිටිව් වුණා කියලා. ඒ අනුව ඔහුත් ඒ සැකේටම අනුරාධපුර රෝහලට ඇතුළත් වෙලා තමන්ගේ පීසීආර් පරීක්ෂණය කරලා තිබ්බා. පසුව ඊයේ අපිට වාර්තාව හම්බවුණා එයාගේ පීසීආර් පොසිටිව් කියලා. ඒ නිසා එයාගේ නිවස හා ඔහු කුලියට නතර වී සිටින නිවැසියෙක්. ඒ අනුව ඔහුගේ නිවසේ පදිංචිකරුවන් ඇතුළු පවුල් 4ක් නිරෝධායනයට ලක්කළා.“

මේ අතර ඊයේ දිනය වන විට නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිව්දෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

Facebook Comments