උතුරු නැගෙනහිර ජ.වි.පෙ. නාවික හමුදා අණදෙන නිලධාරියා!

උතුරු නැගෙනහිර ජ.වි.පෙ. නාවික හමුදා අණදෙන නිලධාරියා!

යාපනය බන්ධනාගාරයෙන් විජේවීර මුදාගැනීමේ මෙහෙයුම සහ ජනතා විමුක්ති පෙරමුණේ උතුරු නැගෙනහිර නාවික හමුදා අණ දෙන නිලධාරියාගේ කතාවේ මුල් කොටස් දෙක පහත සබැඳිවලින් කියවන්න.

පළමු කොටස
දෙවැනි කොටස

අද එතැන් සිට…..

ඉන් කියැවුණේ ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු වූ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ සේවය කළ එච්.එම්. තිලකරත්න නම් සෙබලෙකු නාවික නිලධාරීන්ගෙන් නිවස්නයේ ජල පෙරනයන්ට (WATER FILTER) නිදි පෙති දැමීමට සූදානම් වන බවට ලැබුණු ආරංචිය ගැනය. එය ආරක්ෂක අංශ විසින් දැනගත් බව තිලකරත්නට දැනගන්නට ඉඩ නොතබා පොලිසිය ඔහු කොළඹ විශේෂ රාජකාරියකට කැඳවූ බව නාවික හමුදාව මගින් දැන්වීය.

ඉන්පසු සිදුවූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ චුන්නාකම් විදුලි බලාගාරයේ මුර කටයුතුවල යෙදී සිටි නාවික භටයන්ට දිවා ආහාරය ගෙනගොස් දී ඉන්පසු කොළඹට යාම සඳහා පලාලි ගුවන් තොටුපලට යන ලෙසය. එහෙත් තමා කොළඹට කැඳවන්නේ කුමකටදැයි ඔහුට ඉවෙන් මෙන් දැනී තිබුණි. චුන්නාකම් විදුලි බලාගාරයට ගිය ඔහු කළේ නාවික සුලු නිලධාරීන් වූ සිසිල් ගුණසේකර සහ එන්.ජී.ටී. කොස්තාට සබ්මැසින් තුවක්කුවකින් වෙඩි තබා මරා නාවික හමුදා කායික පුහුණු උපදේශකයකු වූ ටී.එම්.එන්. අබ්දුල් සදාකාලික අබ්බගාතයෙකු කර බලාගාරයේ තිබූ සියලු අවි පැහැර ගැනීමයි.

ඉන්පසු තිලකරත්න තවත් නාවික භටයන් දෙදෙනෙකු වූ විජේ සහ සිල්වා බලහත්කාරයෙන් තමා පැමිණි ජීප් රියට නංවාගෙන විදුලි වේගයෙන් පිටත් විය.

සිද්ධිය පිළිබඳ චුන්නාකම් බලාගාරයෙන් ලැබුණි දුරකතන පණිවුඩයකින් දැනගත් වහාම සුන්දරලිංගම් මහතා කළේ අලිමංකඩ පොලිසිය බාරව සිටි සහකාර පොලිස් අධිකාරි මෙන්ඩිස් මහතාට තිලකරත්න සහ අනෙක් දෙදෙනා රැගත් ජීප් රිය නවත්වන ලෙස උපදෙස් දීමයි.

තවත් විනාඩි තුනක් ඇවෑමෙන් ජීප් රිය පොලිස් වෙඩි පහරින් නතර විය. තිලකරත්න සහ අනෙක් දෙදෙනාද එතැනම මිය ගියහ. සුන්දරලිංගම් මහතා ජීප් රිය පිළිබඳව දැනුම් නොදුන්නා නම් තිලකරත්න සහ පිරිස අතින් මැරුම්කන්නේ තමා බව මෙන්ඩිස් මහතා පසුව සුන්දරලිංගම් මහතාට දැන්වීය.

තිලකරත්න නාවික හමුදාවේ නමගිය පාපන්දු ශූරයෙකි. ඔහු කැරලි කරුවන්ගේ ප්‍රධාන නාවික හමුදා සම්බන්ධීකරණ නිලධාරියා විය. යම් ලෙසකින් ජ.වි.පෙ. රටේ බලය අල්ලාගත්තා නම් ඔහු උතුරු නැගෙනහිර නාවික හමුදා අණදෙන නිලධාරියා වීමට නියමිතව සිටියේ යැයි පසුව දැනගන්නට ලැබිණි. තිලකරත්න සම්බන්ධ සිද්ධිය වූයේ 1971 අප්‍රේල් 7 දාය.

ඊළඟ සතියේ සුන්දරලිංගම් මහතා සිරභාරයේ සිටි විජේවීර නැවත හමුවිය. එවිට විජේවීර තදින් පැවසූයේ “ඔබේ ආණ්ඩුව මගේ සොහොයුරන් දහදාහක් මැරුවා. ඔවුන් ඔබේ රජයට ද්‍රෝහීන් වෙන්නැති. එහෙත් ඔවුන් සැමදා ඉතිහාසයේ වීරයෝ. මෙය ඔබේ අගමැතිතුමියට කියන්න.”

විජේවීර ඉල්ලා සිටි ලෙසම සුන්දරලිංගම් මහතා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකදී මේ බව අගමැති සිරිමා බණ්ඩාරනායක මැතිණියට පැවැසීය.

එවිට ඈ කීවේ මෙපමණකි.

“ඔහුට කියන්න උසාවියේදි ඔය කාරණය පවසන්න කියල.”

වරක් සුන්දරලිංගම් මහතා සමග විජේවීර රඳවා සිටි යාපනේ බන්ධනාගාරයේ සිරමැදිරියට ගිය හමුදා නිලධාරියෙකු විජේවීරගෙන් මෙසේ ඇසීය. “ඔබ කුමක් කරන්නද අදහස් කළේ.”

“අපි කුමක් කරන්නද අදහස් කළේ යන්න දැනගන්න ඔබ මා පැවැත්වූ පන්ති පහට සහභාගි වෙන්න තිබුණා” යැයි විජේවීර පැවසීය.

විජේවීරගේ පිළිතුර හමුදා නිලධාරියා තුළ ඇති කළේ බලවත් කෝපයකි.

දශක දෙකකට අඩු කාලයක් තුළදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද කැරලි දෙකකින් පරම්පරා දෙකක තරුණ තරුණියන් විශාල පිරිසක් මියගියහ. මේ සිද්ධි නිසා ඇතැම්විට කැරලිවලට සම්බන්ධ නොවූ අහිංසකයෝද මැරුම් කෑහ.

ජ.වි.පෙ. පළමු කැරැල්ල ආදර්ශයට ගනිමින් (සුන්දරලිංගම් මහතා පැවසූ පරිදි) කොටි සංවිධානය උතුරේ දියත් කළ කැරැල්ලෙන් ඊටත් වඩා විශාල පිරිසක් නිකරුණේ මිය ගියහ.

මේ සිද්ධීන් පැරණි බටහිර කියමනක් සිහියට නංවයි.

“සුළඟ වැපුරුවොත් ලැබෙන්නේ සුළි සුළඟකි.”

Facebook Comments