ඉස්ලාම් ත්‍රස්තවාදයේ බිහිසුණුම 9/11 ප්‍රහාරයේ ප්‍රතිඵල සියැසින් දුටිමි (2 වන කොටස)

ඉස්ලාම් ත්‍රස්තවාදයේ බිහිසුණුම 9/11 ප්‍රහාරයේ ප්‍රතිඵල සියැසින් දුටිමි (2 වන කොටස)

පළමු කොටසට……

මේ හේතු නැවතත් ගෙන හැර දක්වමින් බින් ලාඩන් වීඩියෝ පටයක් ද නිකුත් කළේය.

FILE – This undated file photo shows al Qaida leader Osama bin Laden in Afghanistan. Internal emails among senior U.S. military officials reveal that no sailors watched Osama bin Laden’s burial at sea from the USS Carl Vinson and traditional Islamic procedures were followed during the ceremony. The emails, obtained by The Associated Press through the Freedom of Information Act, are heavily blacked out, but are the first public disclosure of information about the al-Qaida’s leader’s death. (AP Photo)

මේ ප්‍රහාරයන් සිදුවී දෙසතියකින් පමණ එරට තිබූ තත්ත්වය සියැසින් දැක ගැනීමේ අවස්ථාව මට අහම්බෙන් උදාවිය. මා ඇමරිකාවට යාමට අදහස් කළේ 2001 සැප්තැම්බර් මස දෙවැනි සතියේය. එරටට යාම සඳහා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් මා වීසා ලබාගත්තේ සැප්තැම්බර් 11 දා උදේය. (අමෙරිකා වේලාවෙන් සැප්තැම්බර් 10 දා සවස ය.) ලංකාවේ වේලාවෙන් රාත්‍රියේ රූපවාහිනියෙන් අප දුටුවේ ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට කඩා වදින අයුරුය. ඒ වන විට මම ලේක්හවුසියේ ඩේලිනිව්ස් පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් සිටියෙමි. ඒ ඇමෙරිකාව ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූයේ සැප්තැම්බර් 11 දා උදය වරුවයි.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට තරමක් ඈතින් පිහිටි වෙළෙඳ ආයතනයක සේවය කළ මගේ ඥාති පුත්‍රයෙක් එම යානයක් මධ්‍යස්ථානයට කඩා වදිනු සියැසින් දිටීය. එදිනම ලොව පුරා පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල සියල්ලක්ම තාවකාලිකව වසා දමන ලද අතර, එරටට යාමට තිබූ ගුවන් ගමන් සියල්ලක්ම අත්හිටුවන ලදී. මේ නිසා දහස් ගණන් මගීහු ලොව නොයෙකුත් ගුවන් තොටුපළවල අතරමං වූහ. සිද්ධිය වීමට පෙරදින ඇමෙරිකාව බලා පිටත් වූ මගේ ඥාතීන් පිරිසක් රැගත් ගුවන් යානයට එරටට බැස්සවීමට ඉඩ නොදෙන ලද නිසා එය බැස්සවීමට අවසර ලැබුණේ යාබද කැනඩාවේ වූ ගුවන් තොටුපළකටය. එතැන් සිට එම යානාවේ මගීන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට සිදුවූයේ ගොඩබිම් මාර්ගයෙනි.

ඇමෙරිකාව බලා ගුවන්ගත වීමට මට අවස්ථාව ලැබුණේ ඊට දෙසතියකට පසු එනම් සැප්තැම්බර් 28 වන දාය. මෙම ප්‍රහාරවලදී සිවිල් වැසියන්ට අමතරව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 19 දෙනෙක්ද මිය ගියහ.

නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බින් ලාඩන් සහ අල්කයිඩා සංවිධානයේ වැඩක් නොව ඊශ්‍රායල් පාක්ෂික කුමන්ත්‍රණකරුවන් විසින් එම ගොඩනැගිලි ඇතුළතින් පුපුරුවා හරින ලද්දකැයි ඇතැමුන් විසින් පතුරුවා හරින ලද කතාව නිෂ්ප්‍රභ කරමින් සින්ටෙෆ් (SINTEF) නම් නෝවීජියානු පර්යේෂණායතනයේ විද්‍යාඥයකු වන ක්‍රිස්ටන් සිමෙන්සන් කරුණු පැහැදිලි කළේය.

ඔහු පවසන අන්දමට ජෙට් ගුවන්යානයක් එවැනි ගොඩනැගිල්ලක් තුලට කඩා වැදී සිරවන විට එහි බිත්ති රඳා සිටින ඇතුළතින් ඇති ඝන වානේ කම්බිවලට යානයේ ඉන්ධන ටැංකි සිදුරු වීමෙන් ඉන්ධන පිටතට ගලායාම නිසා ඇතිවන ගිනි උෂ්ණත්වයෙන් (සෙල්සියස් අංශක 660 සිට 850 පමණ දක්වා) යානයේ ඇලුමිනියම් තහඩු ඇතුළු ගොඩනැගිල්ලේ වානේ කොටස් සමඟ උණුවී ඉන්ධන සමග ගිනි ඇවිලී ගොඩනැගිලි දෙදරා කඩාවැටීම හේතුවෙයි. ගොඩනැගිල්ලේ නටබුන් දිහා බලන විට එය පැහැදිලිය. ගොඩනැගිල්ල ඇතුලතින් පිපුරුවේ නම් එය පහළ සිට පටන් ගත යුතුය. උඩ සිට නොවේ. ඇමෙරිකන් යුද හමුදාවේ විශ්‍රාමික භටයකු වන මගේ ඥාති සොහොයුරෙකුද ඒ බව තහවුරු කළේය.

මා ඇමෙරිකාවට ගොඩබසින විට සෑම ගුවන් තොටුපළකම ඇමෙරිකා එක්සත් ජනපද ජාතික මුර සේවාවේ භටයෙක් (U.S. National Guard) සේවයේ යෙදී සිටියහ.

ජානක පෙරේරා

ඉදිරියට……

Facebook Comments