ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට..

ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය ලාංකික කාන්තාවන් දෙදෙනෙකුට..

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක යන මහත්මීන් වෙත පද්ම ශ්‍රී සම්මාන ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
 
පද්ම ශ්‍රී සම්මාන යනු ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන අතර සෑම වසරකම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් පිහිටුවන ලද පද්ම ශ්‍රී සම්මාන කමිටුව විසින් කරනු ලබන නිර්දේශයන් මත ප්‍රදානය කෙරේ.

ආචාර්ය වජිරා චිත්‍රසේන යනු ශ්‍රී ලංකා නර්තනයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම නර්තන ශිල්පිනිය ලෙස සැලකේ. ඇය සිය පූර්ණකාලීන වෘත්තිය වශයෙන් උඩරට විලාසයෙන් නර්තනය සිදුකළ පළමු සිංහල කාන්තාවයි. ඇගේ කලාත්මක ගමන දශක හයක් පුරා දිවෙන අතර වයස අවුරුදු 87 දී ඇය දැන් චිත්‍රසේන-වජිරා නැටුම් පදනමේ ප්‍රධානියා වන අතර නර්තන පාසලේ විදුහල්පතිනිය ද වේ.

දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය ද 2020 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි. ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි මහාචාර්යවරියක් ලෙස කටයුතු කළාය. 1943 දී ඉන්දියාවේ උපත ලැබූ ඇය ලක්නව් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

මහාචාර්ය දසනායක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල හින්දි භාෂාව හඳුන්වා දීමට හා ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමී වූ අයෙකි.

මීට පෙර, 2002 දී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා ප්‍රවීණ සංගීතඥ හා මැග්සේසේ සම්මානලාභී ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාට පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීය.

Facebook Comments