ඇෆ්ලාටොක්සින්, අක්මාවේ පිළිකා සහ පිළිකාකාරක ගැන ඔබ නොදත් දේ..

ඇෆ්ලාටොක්සින්, අක්මාවේ පිළිකා සහ පිළිකාකාරක ගැන ඔබ නොදත් දේ..

ඇෆ්ලාටොක්සින් ගැන මගේ සත දහය , මුලසිට සරලව

ඇෆ්ලාටොක්සින්- යනු

1. නොම්මර එකේ පිළිකා කාරකයකි – පිළිකා ඇති කරන බවට ඇති සාධක අනුව ලෝකේ පිළිකා කාරක වර්ගිරකනය කර තිබේ. දුම්කොළ මෙන් ම ඇෆ්ලාටොක්සින් ද එහි ඉහලම මට්ටමේ පිළිකා කාරකයකි.

https://monographs.iarc.who.int/list-of-classifications

2. ඇෆ්ලාටොක්සින්- සදහා ටෙස්ට් කිරීම මෙන්ම එයට නිරාවරණය වීම අවම කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන වල අනුග්‍රහය ලැබෙන වැඩපිළිවෙලකි.

https://www.who.int/foodsafety/FSDigest_Aflatoxins_EN.pdf


3. ඇෆ්ලාටොක්සින් සෑදෙන්නේ පරිසරයේ ම අඩංගු දිලීරයක් මගිනි, එනිසා ඇෆ්ලාටොක්සින් සෑදීම වලක්වා ගැනීම අසීරුය, කල හැක්කේ ඒ සදහා ටෙස්ට් කර අදාළ ආහාර ද්‍රව්‍ය මාකට් එකට පැමිණීම වැළැක්වීම ය – අප කල යුත්තේ හා ප්‍රමිති ආයතනය කර නැත්තේ එයය – විශාල වරදකි.

4. ඇෆ්ලාටොක්සින් – දිලීරයක් මගින් හැදෙන නිසා ගෙදර, දේශීයව, ගමේ හදන පොල්තෙල් වල තිබිය හැක. දේශීය පොල්තෙල් වල එසේ තිබෙන බවට පරීක්ෂණ සාධක ඇත. https://www.sciencedirect.com/science/article/abs/pii/S0956713519300659

5. ඇෆ්ලාටොක්සින්- වලින් හැදෙන්නේ අක්මාවේ පිළිකා ය. එය වෙනත් පිළිකා ඇති නොකරයි.

6. ලංකාවේ ඇති එලවලු තෙල් සෝයා තෙල් වල ඇෆ්ලාටොක්සින් අඩු බව සොයාගෙන ඇත (ඉහත 4 ලින්කුව).

7. ගෑස්පහ හන්දියේ තෙල් කඩ අසලින් යන විට අධික පුස් දුගදක් වහනය වේ.

8. රත් කර, පිසීමෙන් මේම විෂ විනාශ කල නොහැක, සුර්ය රශ්මිය වුවද පැය ගණනාවක් මෙයට ලබාදිය යුතුය.

අක්මාවේ පිළිකා ගැන මගේ සත පහ

1. අක්මාවේ පිළිකා විරල ය. ලංකාවේ අක්මාවේ පිළිකා ජනගහනයේ ලක්ෂයකට වසරකට 4.5- 5 ක් පමණ වාර්තා වේ.

2. අක්මාවේ පිළිකා ලෝකයේ ජනගහනයේ ලක්ෂයට වසරට 9 ක් පමණ වාර්තා වේ. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7058661/

3. අක්මාවේ පිළිකා කාලයත් සමග බටහිර රටවල් වල වැඩි වන හා පෙරදිග රටවල අඩුවන ප්‍රවනතාවක් පෙන්වයි.

4. අක්මාවේ පිළිකා ලංකාවේ කාලයත් සමග සුළු වශයෙන් වැඩිවන ප්‍රවනතාවක් පෙන්වයි.

5. අක්මාවේ පිළිකා සුව කිරීමට අපහසුය, කිමෝ හා විකිරණ ප්‍රතිකාර අක්මාවේ පිලික සදහා වැඩ නොකරයි.

6. අක්මාවේ පිළිකා රෝග නිර්ණය පහසුය රෝග ලක්ෂණ පැහැදිලිය.

7. අක්මාවේ පිළිකා වලින් එකවර මිය නොයයි – එනිසා බහුතරය මිය යන්නේ රෝග නිර්නයකින් පසුව ය, දත්ත වලට ඇතුලත් වේ.

8.අක්මාවේ පිළිකා සදහා මුලිකම හේතුව අධික මත්පැන් පානය හා වයිරස් වලින් වැළදෙන හෙපටයිටිස් රෝගය නිසා ඇතිවන සිරෝසිස් තත්වයයි.

9. සිරෝසිස් තත්වයක් නොමැති අක්මා වල පිලික හටගැනීම විරල ය.

10. සිරෝසිස් රෝගය ඇතිවීම සදහා ද ඇෆ්ලාටොක්සින් යම් ප්‍රමාණයකට හේතු වේ.

පිළිකා කාරක ගැන මගේ සත දෙක

1. ලංකාවේ පිරිමින් අතර බහුල ම පිළිකාව මුඛ පිළිකා ය – ලක්ෂයට වසරට පිළිකා 28 ක් වාර්තා වේ.

2. මුඛ හා උගුරේ පිළිකා වලට ප්‍රධාන ම හේතුව දුම්කොළ, පුවක් සැපීම යි.

3. පෙනහළු පිළිකා ද ලංකාවේ සුලබ ය – ලක්ෂයට වසරට පිළිකා 13 ක් වාර්තා වේ

4. ලංකාවේ පිළිකා වලින් විශාල ම ගණනකට හේතුව දුම්කොළ, පුවක්, දුම් පානය හා මත්පැන් පානයයි..මේ සියල්ල නොම්මර එකේ පිළිකා කාරක ය.

5.මෙකි පිළිකා කාරක ටික ඕනෑම නගරයක, බස් නැවතුමක, කඩයක පහසුවෙන් ලබාගත හැක. අපේ උදවිය ඇෆ්ලාටොක්සින් දෙස බලන ඇසින් ම පාරේ ඇති බුලත් විටි-සිගරට් කඩය, මත්පැන් හල දෙසද බලනවා නම් අගනේ ය – ඒවා ද මිනී මරන්නේ ය. වෙනස වන්නේ පිසින තෙල් අත්‍යාවශ්‍ය වීමත්, දුම්කොළ-මත්පැන් අත්‍යාවශ්‍ය නොවීමත් ය.

වෛද්‍ය ලක්ෂාන් අබේනායක

Facebook Comments