ආණ්ඩුවේ විමල් විරෝධයට හේතුව – ගෝඨාභයගේ “පාඨලි බිය” ද?

ආණ්ඩුවේ විමල් විරෝධයට හේතුව – ගෝඨාභයගේ “පාඨලි බිය” ද?

විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව පොදුජන පෙරමුණ තුළ ඇතැම් පාර්ශවයන් විරෝධය දැක්වීමට හේතු වී තිබෙන්නේ ඔහු හා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අතර සිදුවූ රහසිගත හමුවක් පිළිබඳ සැකයක් පදනම් කොටගෙන බව ආරංචි මාර්ග සදහන් කරයි.

දැනගන්නට තිබෙන ආකාරයට වීරවංශ – රණවක රහසිගත හමුවක් පිලිබඳ තොරතුරු බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනපතිවරයා වෙතට දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් බරපතළ අප්‍රසාදයක් තිබෙන බවත් ඒ හේතුවෙන් වීරවංශ – රණවක හමුවක් සිදුවීම පිළිබඳව ජනපතිවරයා තුළ වීරවංශ අමාත්‍යවරයා පිළිබඳවද තිබු ප්‍රසාදය පහව ගොස් ඇති බවද වාර්තා වේ.

මේ හමුව පිළිබඳ දැන ගැනීම හේතුවෙන් ජනපතිවරයා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව තුලම සිටින සන්ධානගත පක්ෂවලින් සමන්විත විකල්ප පිල එසේත් නැතිනම් නැතිනම් 12 කණ්ඩායමට පොරොන්දු වූ සාකච්ඡාවද නොදීමට හේතුවී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම විකල්ප පිල හා ජනපතිවරයා අතර මීට මසකට පමණ පෙර සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එකඟ වූ පරිදි යළි සති දෙකකින් එවැනිම සාකච්ඡාවක් ලබා දෙන බවට ජනපතිවරයා හා විකල්ප පිල අතර එකඟතාවයක් ඇති විය.

එහෙත් අදාළ සාකච්ඡාව නිසි වේලාවට නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ජනපතිවරයාගෙන් විමසීමේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට 12 කණ්ඩායමේ ඇතැම් පක්ෂ භාරදී තිබුණද ගම්මන්පිල අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් වගකීම භාර දුන් පිරිසට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Facebook Comments