අයියාගේ හිරු නොකියන භාරත ඝාතන කතාව. දුමින්ද අහිංසකයෙක්ද? අවසාන කොටස

අයියාගේ හිරු නොකියන භාරත ඝාතන කතාව. දුමින්ද අහිංසකයෙක්ද? අවසාන කොටස

පළමු කොටසට මෙතනින්..

ඒ මොහොත එළැඹිණි

රාහුල විදුහලෙන් නික්මී ඉන්පසු ඔවුන් පැමිණියේ ඊට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි අවසන් වෙඩි තැබීම සිදුවුණු තැනටය. හිඹුටානටය.
මහාධිකරණයේදී පැමිණිල්ලේ එක් වැදගත් සාක්‍ෂියක් වුණේ, පොලිස් කොස්තාපල් ලසන්ත වනසුන්දරගේ සාක්‍ෂියයි. ඔහු දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ පිස්තෝලයක්ද අතැ’තිව ගමන් කොට තිබේ. හිඹුටාන ඝාතන ස්ථානයේදී ඔවුන් ගමන් කළ රථයට පිටුපසින් දුමින්ද සිල්වා සිටි ලෑන්ඞ් ක‍්‍රෑෂර් රථය ආවේය.
ඒ මොහොත එළැඹිණි. උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර වරෙක මැදිහත්වී, වුවමනාවෙන්ම වළක්වාගන්නට මහත් පරිශ‍්‍රමයක් ගත් බිහිසුණු මොහොතයි ඒ. දුමින්ද ගමන් කළ දිසාවට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් භාරත ලක්‍ෂ්මන් ජීප් රථයකින් පැමිණියේය. භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්‍ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි.
එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දෙන ලද්දේ, දුමින්ද සිල්වාට එසේ තුවාල වීමටත් පෙර, ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැුස්වීමේ පරමාර්ථය භාරත ලක්‍ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බවයි.
භාරතට ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු, ගිනි අවි සහිතව ආරක්‍ෂාවට ලබාදී තිබුණි. කරන ලද විමර්ශනවලදී හෙළිවුණේ, දුමින්දට වෙඩි තබන ලද්දේ එම ආරක්‍ෂකයන් දෙදෙනාගෙන් කෙනකු බවය.

ආරක්‍ෂකයා වෙඩි තබයි

ඒ ආරක්‍ෂකයා කළ දේ නිවැරදිය. තම ප‍්‍රභූවරයා වෙත එල්ලවූ ප‍්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා ඔහු කළ දේ නීත්‍යනුකූලද, සිය රාජකාරිය නිසි පමණින් ඉටුකරමින් කරන ලද්දක්ද වෙයි. ප‍්‍රභූවරුන් සඳහා ආරක්‍ෂාව සැපයීමේදී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය විස්තර කෙරෙන චක‍්‍රලේඛ උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියා සිය යුතුකම්, වගකීම හා පුද්ගලික ආරක්‍ෂාව යන සිද්ධාන්ත තුළ ක‍්‍රියා කිරීමේදී දුමින්ද සිල්වාට තුවාල සිදුවුණු බවයි.
දුමින්දට වෙඩි වැදීමෙන් පසු අවට සිටි පිරිස ක්‍ෂණයකින් එතැනින් ඉවත්වුණු අතර, අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා (1 විත්තිකරු) තම අත තිබුණු ගිනි අවියෙන් අහසට වෙඩි තබන්නට විය. එකෙණෙහි සරත් බණ්ඩාර නමැති විත්තිකරු එම ගිනිඅවිය උදුරාගෙන භාරත ඇතුළු ඔහුගේ පිරිස දෙසට දිගින් දිගටම වෙඩි තැබීය.

තවත් පාතාලයෙක්

දුමින්ද සිල්වා සතුව නිල පිස්තෝලයක් තිබේ. එය මන්ත‍්‍රීවරයකු වන ඔහුට රජයෙන් ආරක්‍ෂාව සඳහා සපයන්නකි. මේ පිස්තෝලය කිසිවකුට හදිසියකදී තියාගන්නට දෙන්නටවත් අදාළ මන්ත‍්‍රීවරයාට නීතියෙන් තහනම්ය. එහෙත් ඒ මොහොතේ දුමින්දගේ පිස්තෝලය තිබුණේ ඔහු ළඟ නොවේ. 10 වැනි විත්තිකාර ගලගොඩ ළඟය. මේ ගලගොඩ, හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. ඔහුට විරුද්ධව කොල්ලකෑමේ වරද සඳහා නඩු දෙකක් පානදුර හා අවිස්සාවේල්ල මහාධිකරණවල විභාග වෙමින් පැවැත්තේය. දුමින්ද සිල්වා ළඟ සිටි තවත් පාතාල මැරෙයකි මේ ගලගොඩ.
දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සැණින් ගලගොඩද තමා සතුව තිබුණු දුමින්ද සිල්වාගේ පිස්තෝලයෙන් භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තැබීය. එයින් ආරක්‍ෂක නිලධාරියාගේ බාහුවකට, වම් ඇසට, හා මොළයට මාරාන්තික තුවාල සිදුවිය. එසැණින්, දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක, 1 විත්තිකාර අනුර ඇතුළු අන් අය ටී56 ගිනිඅවි භාවිත කරමින් භාරත ලක්‍ෂ්මන් දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන ලදි. භාරතගේ අතේ කිසිම අවියක් තිබුණේ නැත. ඔහු සමග එතැන ඝාතනය වුණු අනෙක් තිදෙනා වන දමිත ජයතිලක, මනිවේල් කුමාරස්වාමි හා මොහොමඞ් අස්මි යන අය අතද කිසිම ගිනිඅවියක් තිබුණේ නැත. ඔවුහු පස්දෙනාම සිටියෝ නිරායුදවය. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවූයේ භාරත ලක්‍ෂ්මන් සමග ඒ මොහොතේ එකට ගමන් ගනිමින් සිටි පාපයටය.

ඇත්ත වශයෙන්ම වෙඩි තැබීම ඇරඹීමත් සමග භාරත ලක්‍ෂ්මන් ජීවිතාරක්‍ෂාව පතා එම ස්ථානයේ පිටුපසට දිවගියේය. ඔහු දුවමින් සිටින විට පිටුපසින් එළවමින් ටී56 ගිනිඅවියකින් වෙඩිතබා තිබේ. අවම වශයෙන් වෙඩි පහරවල් 24ක් මේ පසුපස හැරී දුවමින් සිටි නිරායුද මිනිසාගේ සිරුරේ පිටුපසට වැදී තිබුණේය.

එල්ටීටීඊයෙන් ගත් අවි

අපරාධ ස්ථානයේ තිබී ටී56 වර්ගයේ හිස් පතොරම් කොපු 27ක් පොලිසිය භාරයට ගන්නා ලදි. ටී56 ගිනි අවියක මැගසින් එකක වරකට ගබඩා කළ හැකි පතොරම් සංඛ්‍යාව 30කි. ඒ අනුව, සම්පූර්ණ මැගසිනයකින් මේ අවස්ථාවේ වෙඩි තබා ඇත. ඒ සියලූම පතොරම් නික්මී ඇත්තේ එකම ගිනි අවියකින් බව රස පරීක්‍ෂකවරයා තහවුරු කළේය. එම ගිනි අවිය, 2011 නොවැම්බර් 1වැනිදා සොයාගත්තේ 3 විත්තිකාර දෙමටගොඩ චමින්දගේ භාරයේ තිබියදීය. එහි අනුක‍්‍රමික අංකය සොයා බලන විට, එය යුද හමුදාවට නිකුත් කරන ලද ගිනි අවියක් බව තහවුරු විය. 2000 අපේ‍්‍රල් 22 දින යුද හමුදාව හා එල්ටීටීඊ සංවිධානය සමග අලිමංකඩදී සිදුවුණු ගැටුමකදී එල්ටීටීඊ සංවිධානය විසින් රැගෙන ගොස් තිබුණු අවියකි ඒ. නඩුවේදී සාක්‍ෂි දුන් බි‍්‍රගේඩියර් ගමගේ නම් හමුදා නිලධාරියා ඒ බව තහවුරු කළේය. එල්ටීටීඊය පැහැරගෙන ගොස් තිබිණු ගිනි අවියක් දෙමටගොඩ චමින්ද අතට ආවේ කෙසේද? මහාධිකරණය ඉදිරියේ මේ ප‍්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේදී 3 විත්තිකරු ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණු නමුත් එවැන්නක් සිදුනොවීය.

දුමින්දට වෙඩි වැදීම

දුමින්ද සිල්වාගේ අයියාගේ හිරු නාලිකාවත්, මව්බිම ඇතුළුව ඔවුන් සමග ව්‍යාපාරික සන්ධානවල සිටින අනෙකුත් මාධ්‍යත්, ඉහළින් උපුටා දක්වන්නේ, සිද්ධිය ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදුණු බවයි.
පසුගිය ජූලි 29 වැනිදා මව්බිම පුවත්පතට ‘ගාමිණි මුලින්ම දුමින්දගේ හිසට වෙඩිතැබීමත් සමග බහින්බස් වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා’ මැයෙන්වූ ලිපියක, එහි ලේඛක කමල් මහේන්ද්‍ර වීරරත්න මෙසේ කියයි.
‘හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්‍ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් දෙකෙන් දුමින්ද සිල්වා මළකඳක් මෙන් ඇදවැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වුණේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වැදගත් සිදුවීමක් විය.’
මේ වාක්‍යවලින් දුමින්ද සිල්වා හිතෛෂී මාධ්‍යකරුවන් මහජනතාවට පෙන්වන්නට හදන්නේ, වෙඩි තබාගැනීම ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදී මළකඳක් සේ වැටුණු බවය. ‘එහෙම නම් කොහොමද භාරත මැරුවායැයි කියා දුමින්දට මරණ දඬුවම දෙන්නේ?’ ඔවුන් හිතාමතාම ජනතාව අවුලට දමන්නේ එම ප‍්‍රශ්නය හරහාය. බැලූ බැල්මට ඇත්තය. මුලින්ම වෙඩි වැදුණේ දුමින්දට නම්, මිනිමැරුමට දුමින්ද වැරදිකරු වෙන්නේ ඇයි?

Image may contain: 5 people, people smiling

ප‍්‍රශ්නයේ අනෙක් පැත්ත

මේ ප‍්‍රශ්නය පමණක් ගත්විට එය සාමාන්‍ය ජනතාව නොමග යවනසුලූය. ඒ එහි නීතිමය අනෙක් පැත්තක් තිබෙන නිසාය. ඒ අනෙක් පැත්ත මේ අය වුවමනාවෙන්ම හංගන නිසාය. ඔවුන් නැවත නැවත කියන්නේ තමන්ට වාසි සහගත කෑල්ල පමණක් නිසාය.
දුමින්දට එරෙහි චෝදනාවල ප‍්‍රධාන තර්කයක් වන්නේ නීති විරෝධී රැුස්වීමක් අරඹා ඊට නායකත්වය දෙමින්, අපරාධකාරී ක‍්‍රියාවල යෙදුණ දුමින්ද සිල්වා, එම නීති විරෝධී රැුස්වීමේ ප‍්‍රතිඵල හැටියට සිදුවුණු හැම අපරාධයකටම වගකිව යුතු බවයි.
උදාහරණයක් මගින් මෙසේ පැහැදිලි කළ හැකිය. කොල්ලකෑමක් සඳහා කොල්ලකරුවන් 5 දෙනකු ගියායැයි සිතමු. කොල්ලකෑම ආරම්භයේදීම ප‍්‍රතිප‍්‍රහාරයක් මගින් එක් කොල්ලකරුවකු තුවාල වී එම ස්ථානයේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී, සෙසු කොල්ලකරුවන් විසින් එම අපරාධය කළත්, තුවාල ලද කොල්ලකරුද ඒ අපරාධ වගකීමට බැඳීසිටියි. තුවාල ලද නිසා තමා කොල්ලකෑමට වගකිව යුතු නැතැයි තර්කයක් ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන්නකි.
ඉංග‍්‍රීසි නඩු තීන්දුවකින් දක්වන්නේ, යම් කෙනකු යම් ඉලක්කයක් වෙත ඊතලයක් මුදාහැරීමෙන් පසුව, එම ඊතලය මුදාහැරීම ගැන පසුතැවිලි වී එය ඉලක්කයට නොවැදේවා කියා ප‍්‍රාර්ථනා කිරීමෙන් කිසිම පලක් නැති බවයි. කළ යුතුව තිබුණේ ඊතලය මුදාහැරීමෙන් වැළකීමය.

දුමින්ද වගකිව යුතුයි

ඒ නිසා, මහාමාර්ගය හරස්කොට, භාරත ලක්‍ෂ්මන් වෙත ප‍්‍රහාරය ආරම්භ කළ දුමින්ද සිල්වාට අතරමගදී වෙඩි වැදීම නිදහසට කාරණයක් හැටියට ගත නොහැකිය. ප‍්‍රථමයෙන් වෙඩිවැදුණේ කාටද යන කරුණ මෙහිදී අදාළ නොවේ. භාරත ලක්‍ෂ්මන්ට පහර දී, ඔහුගේ ආත්ම ආරක්‍ෂාවේ අයිතිය ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට ක‍්‍රියාත්මක කිරීමට පදනම සකස් කරන ලද්දේ, දුමින්ද සිල්වා විසින්ය. එනිසා ඔහුට වෙඩි වැදීමෙන් පසුව වුවද, සිදුවුණු සමස්ත ක‍්‍රියාවලියටම ඔහු වගකිව යුතු වෙයි.

චමින්ද පැනයයි

3 වැනි විත්තකාර දෙමටගොඩ චමින්ද නම් පාතාල සාමාජිකයා ඝාතනය සිදුවුණු දිනට පසුදිනම ඉන්දියාවට පලාගියේය. එහෙත්, ලංකා රජයේ දැනුම්දීමක් අනුව ඉන්දියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව, 2011 ඔක්තෝබර් 13 දින ලංකාවට පිටුවහල් කරන ලදි. මෙසේ ‘පිටුවහල් කරන ලද’ ගුවන් මගියකු සාමාන්‍යයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරදිය යුතුය. එහෙත්, එවැනි භාරදීමක් සිදුනොවීය. ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් මගියකු හැටියට ගුවන් තොටුපොළෙන් පිටතට එන්නට චමින්දට හැකිවිය. බලධාරී කිසිවකුගේ විශාල බලපෑමකින් තොරව එවැනි දෙයක් කිරීම පහසු නොවේ.
නඩුවේදී සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු, ඔහු සාමාන්‍ය මගියකු ලෙස ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බව තහවුරු කළහ. එහෙත් ගුවන් තොටුපොළෙන් නික්ම එද්දී කටුනායක 18 කණුව අසළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සිඅයිඞීයට හැකිවිය. චමින්ද නියම ක‍්‍රමවේදයට පටහැණිව, නිරුපද්‍රැතව ගුවන් තොටුපොළට පැමිණීම පිටුපස අදිසි බලවත් හස්තයක් තිබෙන බවට අනාවරණය වුණු බවත්, ඒ ගැන තම උසස් නිලධාරීන්ට දැන්වූ විට, තමන්ට පවරා ඇති වැඬේ හරියාකාරව කරන ලෙසත් ඊට පරිබාහිර වැඩ නොසොයන ලෙසත් ඔවුන් තමන්ට උපදෙස් දුන්නේයැයි සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු කීහ.

විකෘති වාර්තා කිරීම

වැදගත් වන්නේ, මේ සිදුවීම් දාමය ගැන දුමින්ද සිල්වාගේ මාධ්‍ය මෙහෙයුම්කාරයන් කළ විකෘති වාර්තා කිරීමය. දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩුවේ තීන්දුවවත්, විනිසුරුවරුන්ගේ මතයවත් නොවේ. එහෙත් ඒවා එලෙස මවාපාන්නට කටයුතු කිරීමෙන්, මහජනතාව නොමග යැවීමට තැත්කරනවාට අමතරව, ගත යුතු තීරණය ගැන අධිකරණයට බලපෑම් එල්ල කිරීමක්ද සිදුවෙයි. හිරු නාලිකාව සිය ප‍්‍රවෘත්තිවලදී පෙන්වන්නේ, විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යම් සිද්ධිමය කරුණු, ‘අධිකරණය ඉදිරියේ ඔප්පුවුණු’ ඒවා හැටියටය. ඒ තුළින් දැනදැනම ජනතාවගේ මෙන්ම විනිසුරුවරුන්ගේද මනස ව්‍යාකුල කිරීමට උත්සාහයක් ගැනේ.

මාධ්‍යවේදීන්ට කප්පම්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති තවත් සිත්ගන්නාසුලූ කරුණක් තිබේ. එනම්, මෙම අභියාචනයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කිසිම කරුණක් මුද්‍රිත මාධ්‍යවල පළනොකිරීමට රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරුය. දුපතක් ගැන කියන ජාතිකවාදී සතිඅන්ත පුවත්පතක දේශපේ‍්‍රමය ඇඟ පුරා උලාගෙන වෛරී වාර්තාකරණයක යෙදෙන, මලක නමක් ඇති මාධ්‍යවේදියකු විසින් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මුදල් ගෙන, විවිධ ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන්ට රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් ඒ සඳහා කප්පම් ගෙවා ඇති බවයි.
විත්තියේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කියාපාන කරුණු අධිකරණය ඉදිරියේ ඔප්පුවූ කරුණු නොවේ. ඒවා ඔප්පුවූ කරුණු වන්නේ නම්, විනිසුරන් සිටිය යුතු නැත. අධිකරණ පද්ධතියක්ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිතු හිතූ බොරු කියන නීතිඥවරුන් පිරිසක් හා ඔවුන් කියන බොරු නිතර දෙවේලේ විසුරුවා හරින ටෙලිවිෂන් හෝ ගුවන්විදුලි නාලිකාත් පුවත්පතුත් පමණකි.
ඉහත ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී පැමිණිල්ල විසින් අවධාරණය කළ කාරණා කිහිපයකි. මේවා විත්තිකරුවන්ගේ පදයට නටන මාධ්‍යවලින් කියන්නේ නැත. එනිසා ජනතාව, අනෙක් පැත්ත නොදැන ඝාතකයන් පාතාලයන් ගැන අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත්, ඇත්ත ඊට වෙනස්ය.

Facebook Comments