අපේ සාමිට රැවටුණු සෝල්බරි සාමි

අපේ සාමිට රැවටුණු සෝල්බරි සාමි

ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමට සුදුසුද යන්න හා ඒ සඳහා ප්‍රදානය කළ යුතු ආණ්‌ඩු ක්‍රමය කෙසේ විය යුතුද යන්න සොයාබැලීම සඳහාත්, ඒ සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක්‌ පත්කර එවන ලද්දේ, මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති අවධියේය. සෝල්බරි සාමිතුමා ඇතුළු එම කොමිසමේ සාමාජිකයෝ, ඒ අනුව දිවයිනේ විවිධ පළාත්වලට ගොස්‌, විවිධ පුද්ගලයන්ගෙන්ද, විවිධ සංවිධානවලින්ද අදාළ කරුණු විපරම් කර බැලූහ.

වරක්‌ ඩී. එස්‌. සේනානායක කෘෂිකර්ම අමාත්‍යවරයාද, සෝල්බරි කොමිසමේ සාමාජිකයන් සමග එකම රියක මහනුවර බලා ගමන් කරමින් සිටියේය. මේ අතර වේයන්ගොඩට ආසන්න ප්‍රදේශයේ ප්‍රධාන පාර අසල එක්‌ කුඹුරක වැඩ කරමින් සිටි ගොවි පිරිසක්‌ ළඟ, එතුමා රිය නතර කරවා, ඒ පිරිස සමග කතාකිරීමට කැමැතිදැයි සෝල්බරි සාමිගෙන් විමසා සිටියේය.

සෝල්බරිසාමි එම යෝජනාවට දැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ, ගොවියන් වැනි සාමාන්‍ය ජනතාවගේ අදහස්‌ද, ඔවුනට වැදගත් වූ හෙයිනි. ඩී. එස්‌. අත වනා කතා කළ විට එතනට පැමිණි, මඩ තවරාගෙන අමුඩ හා රෙදි හැට්‌ටයකින් සැරසී සිටි ගොවියන් හා ගෙවිලියන් සෝල්බරි සාමි සමග ඉංග්‍රීසියෙන් කතා කොට, ශ්‍රී ලංකාවට නිදහස ලබාදිය යුතු හේතු ඉතා ව්‍යක්‌තව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ තරුණ ගොවියන් හා ගෙවිලියන්ගේ ඉංග්‍රීසි දැනුම පමණක්‌ නොව උගත්කම ගැනද පැහැදුණු සෝල්බරි සාමි ආපසු එතනින් නික්‌ම ගමන් ඇරැඹූ පසු පැවැසුවේ නිදහස ප්‍රදානය කරන්නේ නම් ආසියාවෙන් ඒ සඳහා ප්‍රථමයෙන්ම තෝරාගත යුතු රට ශ්‍රී ලංකාව යන්නයි.

පසු කලෙක සෝල්බරි කොමිසමේ නිර්දේශයන් මත ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ප්‍රදානය කරුනු ලැබූ අතර, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ගරු ඩී. එස්‌. සේනානායක මැතිතුමාය. පසු කලෙක සෝල්බරිසාමි නිදහස්‌ ශ්‍රී ලංකාවේ අග්‍රාණ්‌ඩුකාරයා ලෙසද කටයුතු කළේය. එහෙත් සෝල්බරි සාමි ජීවත් වනතුරුම නොදත් රහසක්‌ විය. ඒ ඔහු කොමිසමේ කටයුතු කරද්දී, වේයන්ගොඩ පෙදෙසේදී ව්‍යක්‌ත ලෙස තමන් හා ඉංග්‍රීසියෙන් කතා කළ ගොවියන් ගෙවිලියන්, ඩී. එස්‌. විසින් කලින් සැලසුම් කර ගොවි ඇඳුම් අන්දා එවන ලද විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්‌ බවයි.

Facebook Comments