අප්‍රේල් 05: එක්දින සිහින රාජ්‍යයේ බිඳ වැටීම

අප්‍රේල් 05: එක්දින සිහින රාජ්‍යයේ බිඳ වැටීම

ප්‍රවේශය

ජවිපෙ 1971 කැරැල්ලේ   ‍අනුස්මරණය වෙනුවෙන් ලියන මේ සටහන  ‍ආත්මීය වූ ප්‍රවේශයකින් පටන්ගත යුතු යැයි මම විශ්වාස කරමි.

අදට හරියටම වසර 50 ක් පිරෙන අප්‍රේල් කැරැල්ල 1967 සිටම එහි දේශපාලන ගමන්මග ගැන නොයෙක් ආකාරයේ වාද විවාද පෞද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේදීද එවකට විශ්වවිද්‍යාල තුල මෙන්ම මහජන රැස්වීම්වලද බන්ධනාගාරය තුළද පවත්වා ඇත්තෙමි. නමුත් මා කිසිදා ජවිපෙ සාමාජිකයෙකු වූයේ  නැත. එයට පැහැදිලි දේශපාලන හේතු පැවතිණි. මෙනිසාම මට ජීවිත තර්ජන පැවතිණි. මේ නිසාම ආත්මීය හේතු, දේශපාලන හේතුවලින් ඔබ්බට ගමන් කිරීමක් පවා සිදු විය. ජවිපෙ කැරැල්ලට වසර 50 පිරෙන දින, අද මට ලියන මේ සටහන මට කළහැකි වන්නේ 1971 දී මෙන්ම 1987-89 කාලය තුළ මට දිවි ගලවා ගැනීමට හැකි වූ බැවිනි. 1970 අවසානයේ පමණ මා සහ තවත් සහෝදරයෙක් ඉඳි කටුවලින් ඇන මරණයට පත් කරන බව කැළණි විශ්වවිද්‍යාලයේ ජවිපෙ කණ්ඩායම ප්‍රකාශයට පත් කරන ලද්දේ ජවිපෙ සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් බෙදා හැරීම  නිසාය. ලංකාවේ සන්නද්ධ අරගලවල ඉතිහාසය තුළ අපට බොහෝ දේ නැති විය. නමුත් ජීවිතය බේරා ගැනීම මුලුමනින්ම අහම්බයකි. එය ලොතරැයියක් ජය ගැනීම තරම්ම විරල ඇදහිය නොහැකි දෙයකි.

ජවිපෙ ප්‍රභවය 

ජවිපෙ ප්‍රභවය හුදු දේශීයව පැනනැගි දේශපාලන වයාපරයක් හෝ ප්‍රපංචයක් නොවේ. එය බිහිවීම සඳහා එවකට ආධිපත්‍යධාරී ලෙස පැවති ජාත්‍යන්තර ප්‍රභවයන් තුනක් හේතු විය. මේ ප්‍රභවයන් වන්නේ,

(1) ලෙනින්වාදී පෙරටු බලඇණි න්‍යාය. මෙයින් අදහස් කලේ වෘත්තීයමය විප්ලවවාදින්ගෙන් සමන්විත මධ්‍යගත පක්ෂ  සංවිධානයක් විසින් පක්ෂයක් ගොඩනගමින් සුදුසු අවස්ථාවේදී පවතින රාජ්‍ය තන්ත්‍රයට එල්ල කරන සන්නද්ධ ප්‍රහාරයකින් රාජ්‍ය බලය අල්වා ගැනීමයි. 
(2) ‘දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කුවේ කඳ තුළින්ය’ යන මාවෝ වාදී ප්‍රස්තුතය. මෙයින් අදහස් කළේ දේශපාලන බලය අල්වා ගැනීමට අවශ්‍ය නම් එය අතවශ්‍ය ලෙසම සන්නද්ධ ක්‍රියාමාර්ගයක් අනුමැත කළයුතු බවයි. සමාජ පෙරලිය සහ සමාජ සංවර්ධනය උදානය ප්‍රචණ්ඩත්වය සමග එයින් බැඳ තබනු ලැබීය.
(3)කියුබානු විප්ලවයේ ජයග්‍රහණයත් සමග මිහිතලයේ අසරණයන්ගේ ඇතිවූ නව පිබිදීම සංකේතවත් කළ චේ ගුවේරාගේ අතිශය පරිත්‍යාගශීලි ජාත්‍යන්තරවාදය.

මේ ප්‍රභවයන් තුන ජවිපෙ න්‍යායික, දේශපාලන, සංස්කෘතික සහ බුද්ධිමය පසුබිම නිර්මාණය කළද එක්තරා ආකාරයකට ලංකාවේ එවකට පැවැති සමාජ ආර්ථික නිර්මිතයේ සාරයේ දේශපාලන ප්‍රකාශය වූයේ විජේවීර විසින් සූත්‍රගත කළ පන්ති පහයි. බහුතරයක ග්‍රාමීය මෙන්ම නාගරික ජීවිතවල දරිද්‍රතාවය, දුපත්කම අපේ ජීවිතවල එවකට දෛනික පැවැත්ම පවා අඩාල කළ බලාපොරොත්තු රහිත බව සනිටුහන් කළ සෝචනීය දෙයක් බවට පත්ව  තිබුනත් එයට විසඳුම තිබුනේ කොතනදැයි කිසිවෙක් දැන සිටියේ නැත.

ඒ පන්ති පහ ඇත්තටම  කොක්ක (කොක්ක ගැසීම යනු යමෙකු සමග පන්ති පහට පෙර පවත්වන ලැබූ මුල්ම සකච්ඡාවයි) ගැසීමෙන් පසුව ජවිපෙ ක්‍රියාධරයා භෞතීස්ම කළ දේශපාලන ක්‍රියාව වන්නේය. මේ පන්ති පහ තුළින් කරනු ලැබුවේ මුළුමනින්ම අලුත් වූ පැරණි ධනපති සමාජ ක්‍රමය සමග කිසිම සමාදානයක් නැති බලය ඇල්ලීමේදී ජීවිතය අනතුරට පත්විය විය හැකිය යන යථාර්ථය පිළිගන්නා, ජීවිතය අනාගත පරම්පරාවේ වුවමනාවන් සඳහා කැප කරන්නෙකු නිර්මාණය කිරීමයි. මේ ක්‍රියාවලිය මගින් බිහිකළ විප්ලවවාදියා ප්‍රේම නොකළ යුතු, දුම් නොබොන, මත්පැන් පානය නොකරන, රහසිගත, නිර්නාමික සහ දැඩි විනයක් සහිත ආත්මයක් ඇත්තෙකි. බොරු කීම සහ කරුණු වසන් කිරීම අවශ්‍ය සෑම තැනකම ව්‍යාපාරයේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය සඳහා වලංගුය. මේවා ආරක්ෂා නොකරන පිළිනොපදින ඕනෑම කෙනක් පළමු අවස්ථාවේදීම කපා හරිනු ලැබේ. එයට හේතුව මෙය නොපිළිපදින්නාට විප්ලවවාදී ජීව ගුණයක් නොමැත. ඔවුන් ව්‍යයාපරයට භයානකය.

අපේ පරම්පරාවේ තරුණයන් බොහෝ දෙනෙකු මෙයට එකඟතාවය පල කළහ. මෙයට සූදානම් දහස් ගණනක් සාමාජිකයන් සොයා ගැනීමට අවරුදු 5 ක් හෝ හයක කාලයක් ඇතුළත ජවිපෙට හැකි විය. එසේ හැකියාව ලැබුනේ ඇයි ? එවකට එනම් 1965 පමණ කාලය වනවිට මා මුලින් සඳහන් කළ ප්‍රස්තුතයන් ජාත්‍යන්තර දේශපාලනයේ තවමත් වලංගු බව පෙනී ගියේය. එම කාලය වනවිට ලංකාවේ සන්නද්ධ කල්ලි කණ්ඩායම් ගණනාවක් පහළ වී තිබුණි. වමේ පක්ෂවලින් පරිබාහිරව බිහි වූ මෙම කල්ලි කණ්ඩායම්වලින් වඩාත් පිළිගැනීමක් ලැබුනේ රෝහණ විජේවීරටය. ඔහු අනෙක් සෑම කණ්ඩයමක නායකයන් අතරින් වඩා ප්‍රබල දේශපාලන පෞරුෂයක් හිමිකර ගත් ප්‍රයෝගික විප්ලවාදියෙක් වශයෙන් පෙනී සිටියේය. ඔහුගේ පංති පහ එකළ ඉමහත් විශ්වාසයක් ලබාගෙන තිබිණි. මා මෙහිදී මුලින්ම සඳහන් කළ ජවිපෙ ප්‍රභවයන් තුන රෝහණ විජේවීරගේ දේශපාලන පෞරුෂය සංකේතවත් කරනු ලැබීය.

දේශපාලනයේ නව සවි ඥානකත්වය

පංති පහ හඳුන්වාදීමත් සමග ලාංකීය දේශපාලනයේ තරුණ කේන්ද්‍රීය නව සවිඥානත්වයක් නිර්මාණය වන්නට පටන් ගති. ලංකාවේ තරුණයන් දහස් ගණනින් සටනට කැඳවීමට සමත් වූ පන්ති පහ දෘෂ්ටිමය දේශපාලන සහ යුදමය වැදගත්කමකින් යුක්ත විය. මේ පන්ති පහ සමන්විත වූයේ පහත සඳහන් මාතෘකා යටතේය.

(1) ආර්ථික අර්බුදය. මෙයින් ඉදිරිපත් කරන ලද්දේ එවකට ලංකාව මුහුණපාමින් සිටින නව විජිතවාදී ආර්ථික ප්‍රශ්නයේ බැරෑරුම්කම පිළිබඳවය. සමාජවාදය පිහිටුවීම මෙයට පිළිතුර වශයෙන් එයින් ඉදිරිපත් කරනු ලැබිණි.
(2) දෙවැනි පන්තිය ලෙස සලකනු ලැබුවේ අර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා මෝරමින් සිටින ආකාරයයි.
(3) තුන්වැනි පන්තිය ලංකවේ වාමාංශික ව්‍යයපාරය විය. මෙහිදී පැරණි වම විප්ලවය අතහැර දමා ඇති ද්‍රෝහී දේශපාලන ක්‍රියා මාර්ගය විස්තර කරනු ලැබිණි.
(4)ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්තවාදය යටතේ උතුරු නැගෙනහිර මෙන්ම ලංකාවේ විශේෂයෙන්ම ඉන්දියානු වතු කම්කරුවන් ලංකාවට වඩා ඉන්දියාවට ආදරය කරන නිසා ලාංකීය විප්ලවයේ බලවේගයන් නොවන්නේ ඇයිදැයි විස්තර කරනු ලැබිණ. මෙයින්  අතිශයින්ම ප්‍රශ්න සහගත සිංහල බෞද්ධ ජාතිවාදයේ දෘෂ්ටිය සමග පෑහෙන කතිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. මෙය සත්තකින්ම ලංකාවේ ද්‍රවිඩ ජනතාව විමුක්තිකාමී දේශපාලන ප්‍රවාහයෙන් තීරණාත්මක ලෙස බැහැර කිරීමට මුල් වූ එකක් මෙන්ම වඩාත් භයානක සහ හානිකර ලෙස සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ සමග අනුගතවීමක්ද විය. එමනිසාම එවකට ජවිපෙ කෙරෙහි ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණ කොටස් තුළ දැඩි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් විය. මේ බලපෑමෙන් නැත්නම් පවතින්නා වූ නෂ්ටාවශේෂයන්ගෙන් අද පවා ජවිපෙ කෙතරම් දුරට නිදහස්දැයි සහතික ලෙස කිව නොහැකි වන්නේය.
(5)අවසාන පන්තිය වූයේ ‘ලාංකීය විප්ලවය ගත යුතු මග’ය. එක්දින බලය අල්ලා ගැනීමේ සැළසුම ඉදිරිපත් කලේ මේ පන්තියෙනි. එක් දවසක පැය ගණනක් ඇතුළත ලංකාවේ පොලිසිවලට සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රාජ්‍යය පොඩි පට්ටම් කිරීම මගින් බලය අල්ලා ගන්නා බව මෙයින් කියා සිටියේය. මේ සත්තකින්ම ඉතා බොලඳ බලය අල්ලා ගැනීමේ සැළසුමක් බව පෙනී ගියද මෙයට සහභාගී වූ අය එහි හැකියාව පිළිබඳ දැඩි විශ්වාසයක් දැරීය. ඔවුන්ගේ අධි විශ්වාසය ඔවුන්ගේ දුර්වලකම විය.

ඉතිහාසයට තල්ලුවක් දීම 

1971 වනවිට ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරයක් වශයෙන් වැඩෙන්නට පටන් ගති. කියුබානු විප්ලවයෙන් ආස්වාදය ලැබූ සටන් පාඨ ‘මව්බිම නැත්නම් මරණය’ සහ ‘දණින් වැටී ජීවත්වීමට වඩා දෙපයින් සිට මිය යාම උතුම්ය’ යනාදී අතිශය විප්ලවාදී සටන් පාඨවලින් ලංකාව පුරා (උතුරු නැගෙනහිර සහ මාධ්‍ය කඳුකර දෙමළ ජනතාව විසූ ප්‍රදේශ හැර)  තාප්ප පිරී ගියේ ඔවුන්ගේ සංවිධානාත්මක හැකියාව උත්කෘෂ්ටයට නංවමිනි. එසේම පොදු ජනතාව ජවිපෙ හඳුන්වන ලද්දේ ‘චේගුවේරා කල්ලිය’ වශයෙනි.

1971 අප්‍රේල් කැරැල්ල දියත් කරන විට ලංකාව පසුකරමින් සිටියේ කුමන දේශපාලන සන්ධිස්ථානයක්ද ? ලෙනින්වාදී ඉගැන්වීම් අනුව රටක විප්ලවීය ලෙස බලය ඇල්ලීම සඳහා විවෘත වන අවකාශය තුළ පාලක පන්තියට තවදුරටත් පැරණි ආකාරයට පාලනය කිරීමට මෙන්ම පාලිතයන්ට (ජනතාවට) පැරණි ආකාරයට ජීවත් විය නොහැකි වනවිට සමාජ විප්ලවයට පැන නැගීමට අවශ්‍ය වන කොන්න්දේසිය බිහි වෙයි. මෙය විප්ලවයේ ප්‍රධාන මූලධර්මය වන බව ලෙනින්  ‘වාම කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි’ (p86) නම් පොත්පිංචේ සදහන් කරයි. රටක්  දීපව්‍යාප්ත අර්බුදයකින් ගොඩවිය නොහැකි ලෙස වෙළී යන බව ඔහු තවදුරටත් සඳහන් කරයි. ලුවී අල්තුසර් For Marx නම් කෘතියේ මේ ගැන  වැඩිදුරටත් කියා සිටින්නේ පාලක පන්තිය තවදුරටත් මුහුණ දිය නොහැකි සහ මග හැරිය නොහැකි දේශපාලන අර්බුදයකට මුහුණ දෙන බවයි.

කොටින්ම කියතොත් ‘දණින් වැටී ජිවත් වීමට වඩා දෙපයින් සිට මිය යාම’ උතුම් බව සළකන දේශපාලන සන්ධර්භයක් තුළ ලංකාවේ දුක්විඳින ජනතාව වැටී සිටියේ නැත. එවැනි තත්වයක් තුල අප්‍රේල් කැරැල්ල ජය ගැනීමට අවශ්‍ය වූ මනෝමූලික හෝ විෂයමූලික තත්වයන් නිර්මාණය වී නොතිබුණි. ජවිපෙ පුපුරා යන තරමට බලය ඇල්ලීමේ ප්‍රචණ්ඩ මානසිකත්වයක් සාමාජිකයන් අතර අප්‍රේල් මාසය වනවිට නිර්මාණය කොට තිබිණි. විජේවීර සිටියේ බන්ධනාගාරය තුළය. බලය ඇල්ලීමේ සැළසුම පිළිබඳව ඒකමතිකත්වයක් නායකත්වය තුළ නොතිබිණි. නමුත් එය තවදුරටත් කල් දැමීමට නොහැකි විය. මේ අවුල සාමාජිකත්වය තුළට කිඳාබසිමින් පැවතිණි. පහර නොදී විනාශ වනවාද පහරදී රාජ්‍ය බලය අල්වා ගැනීමට උත්සාහ  ගන්නවාද යන ප්‍රශන්යේදී පහරදීම වඩාත් වාසිදායක බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිතුවා විය හැකිය. ඉදිරියේ සිදු විය හැකි මහා ප්‍රහාරයේ  ප්‍රතිඵල ගැන ඔවුන්ට සවිඥානක වැටහීමක් තිබුනේ නැත. නමුත් සමාජවාදය ගොඩනැගීමේ උත්තුංග ලෙස සැලකු ව්‍යායාමය ඔවුන් බැඳ තබන දම්වැල විය.

එය මා විසින් කලින් සඳහන් කළ නව සවින්ඥානයේ ප්‍රතිඵලයයි. හෙගල් විසින් ‘ආත්මය’ (spirit)රූපකය ලෙස යොදා ගනිමින් කළ විශ්ලේෂණයක් මේ තත්වය තවදුරටත් විස්තර කිරීමට යොදා ගත හැකිය. ‘දැන් ආත්මය වඩාත්ම අදෘශ්‍යමාන වෙමින් සහ අසංජාණනය වෙමින් අවිඥානක ප්‍රතිමාව සියලුම ප්‍රභූ කොටස් සහ සාමාජිකයන් තුළට මුළුමනින්ම කාන්දුවෙමින් එය සම්පූර්ණයෙන්ම අයිති කරගෙන ඇත. අනතුරුව එක් සුන්දර හිමිදිරියක (ආත්මයේ) සහෝදරයා එයට වැලමිටි පහරක් එල්ල කරයි. මහා සද්දයක් දාගෙන ප්‍රතිමාව කඩාවැටී බිම වැතිර පවතී.'(Hegel,Phenonomenology of Spirit,P.332 ) ප්‍රහාරය පිළිබඳව දැරූ අවිනිශ්චිත තත්වය මෙයින් පැහැදිලි වෙයි. නමුත් ඔවුන්ට පහර දීම හැර වෙන යමක් ඉතිරිව නොතිබුණි. අපේල් 5 දා ප්‍රහාරය සිදුවූයේ ඒ ආකාරයෙනි. ජවිපෙ ඉතිහාසය පුරා අනාගතයේ පවා පහර දීමේ  තීරණය පිළිබඳ විවාදය පවතිනු ඇත. 

හෙගල් තවදුරටත් පෙන්වා දෙන පරිදි, අතුරුදන් වූයේ කෙසේදැයි කවුරුවත් නොදන්නා ආත්මයේ අතුරුදහන් වූ ඉතිහාසයක් ලෙස මැරීගිය ආකාරය දැන් ආරක්ෂා කරන්නේ මතකය පමණකි. එමෙන්ම මේ සියල්ලෙන්ම පසුව ‘ප්‍රඥාවේ අලුත් නාග රාජයෙක් වන්දනාමාන කිරීම පිණිස ඉහළට එසවුනේ හුදෙක්ම මලානික වූ හැව වේදනාවක් නොමැතිව බැහැර කිරිම පිණිසය’ ( Hegel,p. 332) මේ ප්‍රඥාවේ නාග රාජයා, නැත්නම් ප්‍රචණ්ඩත්වය අතහැර දැමීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බලවත් ලෙස අර්බුදයට නොගිය කලක ජවිපෙට 1987 තෙක් රැක බලා ගත් නමුත් නැවත ප්‍රචණ්ඩකාරිත්වයට අවතීරණය වීමක් කෙරිණි. මේ සඳහා ගෙවුණු මිල 1971 මෙන් ඉතාමත් අධිකය.

නිගමනය 

1971 කැරැල්ල ලංකාවේ දේශපාලනයේ අතිශයිනම වැදගත් සන්ධිස්ථානයක් වන්නේ එය ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කළ බැවිනි. ලංකාවේ දේශපාලන පන්ති හිතුවක්කාර අත්තනෝමතික දේශපාලන ක්‍රියාමාර්ගයන්ට එළඹීම ගැන දෙවරක් සිතිය යුතු බව පිළිබඳව සංඥාවක් එය නිකුත් කොට ඇත. කැරැල්ල වෙනුවෙන් දිවිපිදූ සියලුම සහෝදරයන් මෙන්ම සහෝදරියන් සමාජවාදය පිහිටුවීමේ ඒකායන බලාපොරොත්තුවක් ඇතිව එසේ දිවි පිදූහ. ඔවුන් ප්‍රාර්ථනා කළ පැරණි සමාජවාදී ක්‍රමය වෙනුවට අලුත් සමාජවාදී ක්‍රමයක් ගොඩනැගීම ඔවුන්ට කරන ප්‍රණාමයක් වන බව මෙහි ලා සඳහන් කළ යුතුය.

දයාපාල තිරාණගම

Facebook Comments