අනුර සේනානායක සහ මාධ්‍යවේදියෝ..

අනුර සේනානායක සහ මාධ්‍යවේදියෝ..

මියගිය අනුර සේනානායක ගැන උවිඳු කුරුකුලසූරිය ලියූ සටහන.. (1)

මගේ මිතුරෙක් අද උදේ අනුර සේනානායක මිය ගිය පුවත මට දැනුම් දුන් විටම මම කීවෙ “පkaය​!​” කියල​. මිතුරාද සිනාසිනි.

මට ඇත්තටම අනුර ගැන ඇත්තේ කේන්තියකි. ඔහුගේ “මාගේ කිරිල්ලී” ඊට අදාල නැත​.

ඔහුත් මාත් අතර සම්බන්ධය කර්ක්‍ෂය​.අවසානයට පෙර වලිය නම් ලසන්ත ඝාතනය කර ඔහුගේ නිසල දේශය රේමන්ඩ් එකේ තිබ්බ දින අප ලේක් හවුස් වට රවුමේ කල උද්ඝෝෂණයයි.

එදා නව සමසමාජ පක්‍ෂයේ චමිල් ජයනෙත්ති එවකට පොලිස් ලොක්කෙකු වූ – හිටපු පොලිස්පතිවරයෙකු වූ ලකී කොඩිතුවක්කුගේ පුත් – රන්මල් කොඩිතුවක්කු සමඟ ප්‍රශ්ණයක් ඇති කරගත්තා.

ඒක සාමාන්‍ය දෙයක්.

මම චමිල්ව පැත්තකට ඇද දා එය එවෙලේ සමථයකට​ පත්කරා.

මම රන්මල්ට කීව ඕව උද්ඝෝෂණ උණුසුමත් එක්ක වෙන දේවල් ගණන් ගන්න එපා කියල​.

රන්මල් මගෙන් ඇහැව්ව “මාව දන්නව නේද කියල​” මම කිව්ව “ඔව්” ලසන්න්තට බෑණනෙ වෙන්නෙ කියල​.

එතනින් ඒ කතාව ඉවර උනා.

උද්ඝෝෂණය ඉවර උනා. ඒත් මගෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැති චමිල් පිටවෙලා යනකන් මම බස් ස්ටොප් එකේ ටිකක් දුරින් බලන් හිටිය​.

අනුර සේනානායකයි, රන්මලුයි තව පොලිස් ලොක්කො වගයකුයි ආව මා ළඟට​.

අනුර මගේ කරට අතක් තියෙල “මාව දන්නව නේද” කියල මගෙන් ඇහැව්ව​.

මම “හ්ම්ම්ම් මට හරියට මතක නැහැ” කිව්ව​. එයා තමා කොළඹ ලොක්ක​.

මට පොරොන්දු උනා චමිල්ට විරුද්ධව මොකුත් කරන්නෙ නැහැ කියල​.

චමිල් ඒව දන්නෙ නැහැ, එයා හිටියෙ බස් ස්ටොප් එකේ.

චමිල් බස් එකකට නැග්ග​.

පොලිස්කාරයො දෙන්නෙක් ත්‍රීවීල් එකක් අරන් බස් එක ෆලෝ කරා.

මම කිව්ව ඔය දැන් නැහැ කියපු එක කරන්නෙ කියල​.

රන්මල් හැර ඔක්කොමල මගෙ දිහා ඔරවල බැලුව​. පොඩි බහින් බස් වීමක් උනා.

එදා රාත්‍රියේ ලසන්තගෙ දේහය එයාගෙ බිරිඳ සොනාලිගෙ ගෙදරට ගෙනිච්ච​.

මම එතනට යනකොට රාත්‍රී 12ට විතර ඇති. මම රියදුරුතුමාට කිව්ව ගෙදර ගිහින් නාල කාල ඉන්න.

මට ඕන උනොත් කෝල් කරන්නම් කියල​. එයත් හරිම වෙහෙසෙන් හිටියෙ මාත් එක්ක ඒ ටිකේ.

දවස් දෙකකට ඉස්සර සිරසට ක්ලේමෝ එකක් තිබ්බ​, ඊට පස්සෙ ලසන්ත ඝාතනය​.

මම ලසන්ත ගාව​ ටිකක් ඉඳල සිගරට් එකක් බොන්න එලියට ගියා.

ගිහින් අල්ලපු ගේ ඉස්සරහ තියෙන ලයිට් කණුවකට එක කකුලක් තියන් සිගරට් එක උර උරා අතීතය සිහිපත් කරමින් හිටිය​.

කලුවරේ වහල දාල තිබ්බ ඒ ගෙදරින් “හහ් හහ්” ගගා කිණ්ඩියට කහිනව ඇහුන​.

මට නිකන් අමුත්තක් දැනුන​.

මම සොනාලිට ගිහින් කිව්ව මම උදේ එන්නම් කියල පයින්ම ගෙදර යන්න පිටත් උනා.

අපේ ගෙවල් දෙක අතරෙ තිබ්බෙ කිලෝ මීටර් බාගයක දුරක්.

මම තනියම මීදුමේ ඇවිදන් යනව ආයෙත් සිගරට් එකක් බිබී.

ටිකක් දුර ගිහින් කන්ද බහින කොටම​, පොලිස් කැබ් එකක් ඇවිත් මීටර් 20ක් 25ක් දුරින් පාර හරස් කරල වගේ ගැහැව්ව​.

ඉස්සර දොරෙන් දෙන්නෙක් බැස්ස තුවක්කුත් අරන්.

කොට කලිසන් ඇඳල, ට්‍රේනින් ෂූස් දාල හිටියෙ. මම හිතුව ඉවරයි තමා කියල​.

මට කරන්න දෙයක් නැහැ, දුවන්නත් බැහැ, වෙන දෙයක් වෙච්චාවෙ කියල කලබල නොවී මම ආපු වේගෙන්ම ඉදිරියට ගියා.

උන් මගෙ දිහා හොඳට බලල ආයෙත් සිග්නලුත් දාල මැනූවකරා.

ඒ කරල හැරෙව්ව මගේ ගෙවල් තියෙන අතුරුපාරට​.

හරවපු ගමන් මම දිව්ව ගෙයක මිදුලකට​, අන්දර ගස් තියෙනව​, කටුත් ඇනුන​.

මම ස්පීඩ් ඩයල දාල තියෙන මිතුරන්ට කීව​. ඒ අය එනකන් ඉන්න කීව එතනම​.

මම කීව​, මම ආපු ස්පීඩ් එකට උන් දැන් අතුරුපාරෙ මාව බලාපොරොත්තුවෙන් ඇති.

මට ඊට වඩා හොඳයි මළ​ ගෙදරට ආපස්සට දුවන එක කියල​, මම ස්පීකර් ෆෝන් දාගෙනම දිව්ව මල ගෙදරට​.

පස්සෙ ජොන්ස්ටන් ප්‍රනාන්දු තමා මාව ගෙදරට ඇරලුවෙ.

පස්සෙ දවසෙ උදේම මම චම්පික රණවකට කිව්ව කතාව​.

අපි අතර මතවාද ප්‍රශ්ණ තිබුණත් යාලුකම හැමදාම තිබ්බ​.

චම්පික මට පැහැදිලි උපදෙස් වගයක් දුන්න​.

ඔය ගම්මන්පිලත් ඒ කාමරේ දුරකින් වාඩිවෙලා හිටිය​.

අපි කතාකරේ මොනවද කියල ඌ දන්නෙ නැහැ.

ඒ විතරක් නෙමෙයි මහින්ද එක්ක​ මීටිමකුත් ලැහැස්ති කරා.

ඒකට ගියෙ නැහැ. ඒත් පස්සෙ හොයා ගත්ත විදියට අනුර සේනානායක තමා කට්ටිය එවල තිබ්බෙ.

අපේ පාරෙ වඩුමඩුව ගාව හිස් ඉඩමෙ ඒ පොලිස් මැරයො ටික නැවතිල​ හිටිය කියල වඩු මඩුවෙ මුරකාර අන්කල් කිව්ව​. රෝද පාරවලුත් තිබ්බ​, අපි නිරීක්‍ෂණය කරල ෆොටෝත් ගත්ත​.

ඒ කියන්නෙ මොකක් හරි ගේමක් දෙන්න ලැහැස්ති උනේ. මම මේ කතා ප්‍රසිද්ධ කරේ නැහැ, ආරක්‍ෂාව ගැන ප්‍රශ්ණ තියෙන අය ගන්න ඕනෙ එක එක පියවර තියෙනව නෙ.

මම මේ සිද්ධිය පස්සෙ කාලෙදි සිරස ඉන්ටර්වීව් එකේදි කිව්ව​.

අද තමා මේ ලියන්නෙ.

රාජපක්‍ෂල වෙනුවෙන් හෝ තමන්ගෙ උසස්වීම් වෙනුවෙන් ඕන ජරා වැඩක් කරපු පොලිස් ලොක්කෙක් තමා අනුර​.

තාජුඩීන්ගෙ කේස් එකෙත් එහෙමනෙ වැඩකරේ.

ඒ රහස් ඔක්කොම අරගෙන යන දිහාවක යන්න​.

රාජපක්‍ෂල ඔක්කොම වියදම් කරයි ඔබේ මළගමේ.

මියගිය අනුර සේනානායක ගැන උවිඳු කුරුකුලසූරිය තැබූ සටහනකි.


මියගිය අනුර සේනානායක ගැන රසික ජයකොඩි විසින් ලියන ලද සටහන..(2)

අනුර සේනානායක ගැන උවිඳු ලියපු කතාව කියවනකොටම මට මගේ අත්දැකීමක් මතක් වුණා.

කීත් නොයාර් පැහැරගෙන ගිහිල්ලා අමානුෂික විදියට වධ දුන්නේ 2008 මැයි මාසෙ අග දවසක රෑ 10ට විතර.

ඒ සිද්ධිය වෙනකොට “රිවිර” කාර්‍යාලයේ කර්‍තෘ මණ්ඩලයෙ හිටියේ මම විතරයි.

ඒ පැහැර ගැනීම වුණු දවසේ හවසත් මට ඔෆිස් එකේදි කීත්ව හම්බ වුණා.

මට මතක විදියට කර්‍තෘ මණ්ඩලයට ආපු කෝල් එකකින් කිව්වේ “කීත්ව උස්සලා, වැඩි විස්තරයක් දන්නේ නෑ” කියලා.

මම එවෙලේම වාහනයක් අරගෙන දෙහිවලට ගියා කීත් ඉන්නේ දෙහිවල බව දන්න නිසා.

කොහොම හරි කීත්ගේ ගෙදරට යන්නේ නැතුව මම කෙළින් ම ගියේ දෙහිවල පොලීසියට.

ටිකකින් එතැනට දරීෂා බැස්ටියන්ස්, මුන්සා මුෂ්ටාක්, වසන්ත සිරිවර්ධන වගේ පිරිසක් ආවා.

පොලීසියෙන් කිසිම විස්තරයක් හරියට කියන්නේ නෑ.

පොලීසියෙන් අපෙන් ඇහුවෙ “කාවද සැක” “එයාට පුද්ගලික හතුරො හිටියද” වගේ ප්‍රශ්න.

ඔය අතරේ ඒ වෙනකොට “ද නේෂන්” පත්තරේ කර්‍තෘ ලලිත් අලහකෝන් සහ ප්‍රධාන විධායක වෙලා හිටපු ක්‍රිෂාන්ත කුරේ දෙහිවල පොලිසියට ආවා.

දැන් එතැන ටිකක් ලොකු කලබලයක්.

ඔය අතරේ තමයි දෙහිවල පොලීසියට අනුර සේනානායක ආවෙ.

අනුර සේනානායක ඒ වෙනකොටත් ආණ්ඩුවේ කුණු කොන්ත්‍රාත් කරපු කුප්‍රකට මිනිහෙක් බව අපි දැනගෙන හිටියා.

අනුර සේනානායක ඇවිල්ලා කතා කළේ රාජ ඌෂ්ණය නළලේ තියාගෙන.

ඒ වෙලාවේ එතැන තිබුණු කලබලය එක්ක අනුර සේනානායකයි ක්‍රිෂාන්ත කුරේයි අතර බහින්බස් වීමක් වුණා.

අන්තිමේදී අනුර සේනානායක කිව්වා මේ පැහැර ගැනීම ගැන සැක කවුරු හරි ඉන්නවා නම් කියන්න කියලා.

ක්‍රිෂාන්ත කිව්වා ඒක මහින්ද රාජපක්ෂගෙනුයි ගෝඨාභය රාජපක්ෂගෙනුයි ෆොන්සේකාගෙනුයි අහන්න කියලා.

ඒ වෙලාවේ හමුදාව තිබුණේ ෆොන්සේකා යටතේ.

මේ කතාවත් එක්ක ඒ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා.

අනුර සේනානායක කතා කරපු විදියට අපිට තේරුණා උස්සපු මිනිහව හොයන්න පොලීසියට වුවමනාවක් නෑ කියලා.

ඊට පස්සේ ක්‍රිෂාන්ත උත්සාහ කළා ඩයලොග් එක හරහා අඩුගාණේ දුරකථන සිග්නල් ටවර් වලින් කීත්ගේ ෆෝන් එක ඒ වෙලාවෙ තියන තැන හොයාගන්න.

ඒ වෙලාවෙ පොලීසිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් තිබුණෙ නෑ.

ඒ අතරෙම ක්‍රිෂාන්ත කුරේ ඒ වෙලාවේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා හිටපු කරු ජයසූරියට කතා කරලා කිව්වා මහින්දට කතා කරලා කීත්ව බේරලා දෙන්න කියලා.

කරු මහින්දටත් මහින්ද ගෝඨාභයටත් කතා කළා කියලා පස්සේ ආරංචි වුණා.

ඊට පස්සේ රෑ 1ට විතර හෝඩුවාවක් ලැබුණා කීත්ගේ ෆෝන් එක දෙල්ගොඩ පැත්තේ තියනවා කියලා.

ඒ හෝඩුවාව ආවෙ කාගෙන්ද, කොහොමද කියලා දැන් මට මතක නෑ.

පොලීසිය ගැන ලොකු විශ්වාසයක් නොතිබුණු නිසා අපි මහ රෑ අපේ වාහනවල කීත්ව හොයන්න දොම්පෙ, දෙල්ගොඩ, මල්වාන වගේ පැතිවල කරක් ගැහුවා.

වසන්ත සිරිවර්ධන ගේ වාහනේ මායි ඉෂාර කොඩිකාරයි එදා රෑ දෙල්ගොඩ පැත්තේ යන්න පුළුවන් හැම තැනකටම ගියා.

තවත් මාධ්‍යවේදීන් එහෙම කළා.

ඒ යන අතරේ අපි එකිනෙකාට කතා කරලා අපි ඉන්න තැන් ගැන දැනුවත් කළා.

ආණ්ඩුවට තේරුණා මේ පැහැර ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙන තැනකට තල්ලු වෙනවා කියලා.

ඊට පස්සේ පාන්දර හතරට විතර කෝල් එකක් ආවා කීත්ට හොඳට ම ගහලා,

වද දීලා දෙහිවලට ගෙනත් දාලා තියනවා කියලා.

අපි ඒ වෙලාවෙම ආපහු හරවගෙන කොළඹ ආවා.

අපි කොළඹ එද්දි කීත්ව ජාතික රෝහලට ගෙනිහින්.

ඉතාම අමානුෂික විදියට කීත්ට පහර දීලා තිබුණේ.

ඔහු හිටියේ කතා කරගන්නවත් බැරි තරම් කම්පනයක.

ඒ වෙලාවේ ඒ සිද්ධිය ගැන “පොලිස් පරීක්ෂණ” හැම දෙයක් ම වුණේ අනුර සේනානායක යටතේ.

ඒ නිසා ඒ ගැන ලොකුවට කතා කරන්න දෙයක් ඉතුරු වුණේ නෑ.

අනුර සේනානායක ගැන මට ඊළඟ අත්දැකීම තියෙන්නේ උපාලි තෙන්නකෝන්ට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධව.

ප්‍රහාරය එල්ල වුණු මොහොතේ ඉඳන් සිද්ධ වුණු හුඟක් දේවල්වලට පුද්ගලිකව මැදිහත් වුණු නිසාත්,

ප්‍රහාරයෙන් පස්සේ ලංකාවෙන් යනකල් උපාලි තෙන්නකෝන් හිටියේ අපේ ගෙදර නිසාත්

අනුර සේනානායක ඒ වෙලාවෙ වැඩ කරපු විදිය ගැන හුඟක් දේවල් මට ලියන්න තියනවා.

ඒ “පොලිස් පරීක්ෂණ” සිද්ධ වුණේත් අනුර සේනානායක යටතේමයි.

ඒත් ඒ ගැන මට වඩා හොඳට ඒ සිද්ධියේ වින්දිතයා වෙච්ච උපාලි තෙන්නකෝන් ලියයි කියලා මම හිතනවා.

අද අනුර සේනානායක මැරුණා කියලා අහපු වෙලාවේ මට ඔය හැම දේම ආපහු මතක් වුණා.

මාධ්‍යයේ ඉන්න යාළුවෙකුට කතා කරලා කිව්වා මැරිලා තියෙන්නේ කොහොමද කියලා හොයලා

මට කියන්න කියලා.

යාළුවා ටික වෙලාවකින් කතා කරලා කිව්වා ඒ මනුස්සයා මැරිලා තියෙන්නෙ මුඛ පිළිකාවකින් කියලා.

මියගිය අනුර සේනානායක ගැන රසික ජයකොඩි තැබූ සටහනකි.

Facebook Comments