අනතුර, ආරක්ෂාව සහ පුරවැසි වගකීම

අනතුර, ආරක්ෂාව සහ පුරවැසි වගකීම

මේක පරණ කතාවක්.  ඒ කියන්නේ 80 දශකයේ අග භාගයේ. මතක හැටියට 1988 සැප්තැම්බර් මාසයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස ගානකට පස්සේ විවෘත  වුනා. එදා පන්ති වර්ජනය කරන්න පේරාදෙණිය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව තීරණය කරලා තිබුනා. අපට වෛද්‍ය පීඨයට එන්න කියල තිබුනත්, රැස්වීම පැවැත්වූනේ ජිම් එකේ. ඒ කාලේ එම කමිටුවේ කැඳවුම්කරු නිෂ්මි. නිෂ්මි පැය දෙකක් විතර කතා කෙරුවා. බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුනේ කොහොම හරි විභාග කරලා උපාධිය ඇරගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න. එහෙමයි මට හිතුනේ. ඒත් නිෂ්මි ගේ කතාව අහලා සෑහෙන පිරිසක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය අනුමත කෙරුව. නිෂ්මිගේ කතාවෙන් පස්සේ තවත් ශිෂ්‍ය නායකයෙක් මොකද්දෝ වැඩ පිළිවෙලකට එකඟතාවය ඵල කරන්න කියල ඉල්ලුවා. හැමෝම වගේ අත ඉස්සුවා. මතක හැටියට අත ඉස්සුවේ නැත්තේ මමයි  ධම්මික අමරකෝනුයි විතරයි. 

ඒ කාලයේ අපේ ෆැකල්ටියේ දෙවන වසරේ කිහිප දෙනෙකුට ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩ ගැන කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.  ශිෂ්‍ය නායකයෝ අපට සරසවිය තුල දේශපාලනය තහනම් කරලා තිබුනා.  පන්ති වර්ජන නිසා දේශන තිබුනෙත් නැහැ. මාස ගානක් ගෙදර හිටිය නිසා යාලුවෝ එක්ක ඉන්න එක හොඳයි කියල හිතුන. අපේ කණ්ඩායමේ හැමෝම වගේ වැඩි කාලයක් ගත කෙරුවේ මාක්ස් ප්‍රනාන්දු ශාලාවේ. භීෂණය කියන වචනේ දේශපාලන ව්‍යවහාරයට ඒ වෙනකොට එකතු වෙලා තිබුනේ නැහැ. කාලය ගෙවුනේ පොත් කියවමින්, යාලුවෝ එක්ක වල්පල් කතා කරමින් සහ මේස පන්දු සෙල්ලම් කරමින්. 

‘උඹලට ප්‍රශ්න තේරෙන්නේ නැද්ද?‘ ජවිපෙ ක්‍රියාධරයෙක් දවසක් ඇහුවා මතකයි.

‘තේරෙනවා. අඬන්නද කියන්නේ?’ මම ඇහුවා. 

මට තේරුණා විදිහට එජාප ආණ්ඩුවත්, ජවිපෙත් ඒ වෙනකොට රට මහා විපතකට කැඳවාගෙන යන තත්ත්වයක් තිබුනේ. ඒ ක්‍රියාවලිය නවත්තන්න මට ශක්තියක් තිබුනේ නැහැ. ඒකට සම්මාදම් වෙන්න අවශ්‍ය වුනෙත් නැහැ. 

‘උඹලා ඔය සෙල්ලම නවත්තලා වරෙන් කතා කරන්න.’

මේස පන්දු සෙල්ලම් කරමින් හිටපු ප්‍රියන්ත වික්‍රමසිංහටයි මටයි ආරාධනා කෙරුවේ ‘ජෙප්පෙක්’ නෙවෙයි.  අපේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරපු ප්‍රේමසිරි. අපි කිව්වේ ‘අලියා’ කියල.

‘මොනවා කතා කරන්නද? හැම දේම පැහැදිලියි නේ. මුන් (ඒ කිව්වේ ජවිපෙ සහ එජාපය) පිස්සු කෙලිනවා. අපට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ.’ මම එහෙමයි උත්තර දුන්නේ.

‘ඒකට කමක් නැහැ. වරෙන්කො.’

ඉතින් කතා කරන්න මාර්කස් ශාලාවේ අංක 3 කාමරයට අපි ගියා. සෙට් එකම හිටියා. කතා කෙරුවා. ටික වෙලාවක් යනකොට මට තේරුනේ හැමෝම වගේ ඒ වෙනකොට ජවිපෙට ඍජුව නැත්තම් වක්‍රව එකඟයි කියන එක.  ජවිපෙ වැරදියි කියන මතය තහවුරු කරන්න විවිධ කරුණු කාරණා ඉදිරිපත් කෙරුවා. ජවිපෙ දේශපාලනය මාර්ක්ස්වාදී නොවන බවට තර්ක කෙරුවා. පේරාදෙණියේ ජෙප්පන්ගේ තක්කඩිකම් මතක් කරලා දුන්නා. ඒත් ඒ වෙනකොට එක්කෙනෙක්ගෙන් සමන්විත සුළුතරයක් බවට මම පත්වෙලයි තිබුනේ. ඒක මට ප්‍රශ්නයක් වුනේ නැහැ.

‘උඹලා හැමෝම ජවිපෙ හරි කිව්වත් මම එකඟ වෙන්නේ නැහැ,’ කියල කිව්වා.

එදා රෑ අලියා 19 කාමරයට ඇවිත් මට මෙහෙම කිව්වා: ‘ජවිපෙ හරි කියල කියනවා නෙවෙයි. ජවිපෙ හොඳයි කියනවත් නෙවෙයි. මෙහෙ ජෙප්පෝ කරන දේවල් අනුමත කරනවත් නෙවෙයි. එත් මචං අපේ ගම්වල තත්ත්වය වෙනස්. උඹ වරෙන්කෝ. උඹට තේරෙයි.’

පහුවදා අලියා එක්ක මම අම්පාරට ගියා. අම්පාර කිව්වට, අම්පාරම නෙවෙයි. අම්පාරට මෙහා උහනින් හැරිලා කිලෝමීටර තුන හතරක් විතර ගිහින් වමට හැරිලා තවත් කිලෝමීටර් දෙකක් විතර ගිහාට පස්සේ හමුවෙන කුමාරිගම තමයි අලියලාගේ ගෙදර තිබුනේ. 

දවස් දෙක තුනක් හිටියා. විවිධ අය මුණගැහුනා. විජේවික්‍රම ඉස්කෝලේ මහත්තයා රටේ ඇතිව තිබුන තත්ත්වය ගැන ගැඹුරු විග්‍රහයක් කෙරුවා. එතුමා පරණ ‘ශ්‍රීලංකාකාරයෙක්’. විවිධ මට්ටම් වලින් ක්‍රියා කරන ජවිපෙ සාමාජිකයින්, නායකයින් හමු වුනා. කව්රු කිව්වද කියල හරියටම මතක නැහැ එත් කව්රු හරි මෙහෙම කිව්වා: ‘අපිට ශක්තියක් තියෙන තැනකට යන්න වෙලයි තියෙන්නේ.’ 

පහුවදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සංවිධානය කරපු රැස්වීමකට අපි ගියා. සෑහෙන පිරිසක් ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකවරුත් ඇවිත් හිටියා. විවිධ අය කතා පැවැත්වුවා. හමුදාවේ පිරිසක් ශබ්ද විකාශන සපයලා දුන්නා. ජවිපෙට හිතවත් සරසවි ශිෂ්‍ය පිරිසක් ඇවිත් මෙහෙම අපෙන් ඇහුවා ‘අන්තරේ නියෝජනය කරලා කතාවක් කරන්න ඕන…ප්‍රේමසිරි කතා කරනවද?’

ප්‍රේමසිරිව ඒ වෙනකොට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ඉවත් කරලා.

‘මම කතා කරන්න ද?’ ප්‍රේමසිරි මගෙන් ඇහුවා. ‘පොදුවේ සරසවි ශිෂ්‍යයින් නියෝජනය කරන කතාවකට මම අකමැති නැහැ,’ කියලා මම කිව්වා. අලියා කතා කෙරුවා. ආණ්ඩුව සැරට විවේචනය කෙරුවා. කතාව මගක් යනකොට හමුදා නිලධාරියෙක් කතාවට බාධා කෙරුවා.

‘අපේ ලවුඩ්ස්පීකර් පාවිච්චි කරලා ආණ්ඩුවට බනින එක හරි නැහැ නේද?’ නිලධාරියා එහෙම කිව්වා. අලියා කතාව නැවැත්තුවා.

‘උඹල දැන්මම පලයන්,’ කව්රු කිව්වද කියල හරියටම මතක නැහැ, ඒත් අපේ යාලුවෙක් එහෙම කිව්වා.

අලියාගේ ගෙදර ගිහින් අපේ ඇඳුම් බෑග් අරගෙන ආයෙත් අම්පාරට ඇවිත් නුවර බස් එකකට නැග්ගා. එදා රෑ අලියව හොයාගෙන කට්ටියක් ගෙදර ඇවිත් තියෙනවා. රැස්වීමේ කතා කරපු හැමෝම භීෂණය කාලේ මරල දාල තිබුනා. අලියා ආයේ ගමට ගියේ භීෂණය අවසන් වුනාට පස්සේ.

ඒ පරණ කතාව මතක් වුනේ අද පවතින තත්ත්වය ගැන කල්පනා කරද්දී. මුස්ලිම් අන්තවාදී කොටස් මේ රටේ ඉන්න බව පාස්කු ඉරිදා ප්‍රහාරයට කලිනුත් රහසක් වෙලා තිබුනේ නැහැ. දැන් ‘ආගමික නිදහස,’ ‘සිංහල බෞද්ධ අන්තවාදය’ වගේ කතා වලින් ඒ ත්‍රස්තවාදය සාධාරණය කරන්න බැහැ. එහෙම අන්තවාදී කොටස් නැහැයි කියල කියන්නත් බැහැ. දැන් මේක රටේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක්. පුරවැසියාගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක්. රජයට ජාතික ආරක්ෂාව සලසා දෙන්න බැරිනම් පුරවැසියන්ට ආරක්ෂාව සලසා ගන්න වෙනවා. රජය අවංකව ඒ වෙනුවෙන් කැප වුනත් පුරවැසියන්ට්ත් වගකීමේ කොටසක් පැවරෙනවා. එහි ප්‍රධාන කාර්යය වෙන්නේ විමසිල්ලෙන් සිටීමයි.

අනතුරේ, තර්ජනයේ දිග පළල මේ වෙනවිට කාට කාටත් පැහැදිලි යි. අදක්ෂ, අදූරදර්ශී, අමන සහ දූෂිත යහපාලන ආණ්ඩුව සම්පූර්ණ ආරක්ෂක ව්‍යුහයම අකර්මන්‍ය කර ඇති බවත් පැහැදිලියි. දේශපාලනඥයින් ඡන්ද කුට්ටි ගැන සිතා පාස්කු ඉරිදා ප්‍රහාරයටද මුස්ලිම් අන්තවාදයේ වර්ධනයටද පාර කැපූ බවත් පැහැදිලියි. වම්මු, (ගල්)ලිබ්බෝ, හෙජමනියෝ යනාදීන් මෙන්ම සිංහල බෞද්ධ විරෝධීන් ඇතුළු ඇරියස්කාරයින් ආගමික නිදහස, නිරාගමිකභාවය, සංහිඳියාව යනාදී වචන පිටුපස සැඟවී මේ සියලු අනතුරුවලට තර්ජන වලට උඩගෙඩි දුන් බවද පැහැදිලියි.  මුස්ලිම් පක්ෂ, පල්ලි, ආගමික සංවිධාන සහ මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් කොටස් අනතුර දැන දැනත් ප්‍රධාන කාරණය වසන් කරන ආකාරයට කටයුතු කල බවත් පැහැදිලියි.  අනතුර දැක්ක නිසා නැත්තම් සිංහල බෞද්ධකම් ගැන අන්තවාදී අදහස් දරන නිසා හෝ සිංහල බෞද්ධ කොටස් ආගම්වාදීව ජාතිවාදීව හැසිරීමද මේ තත්ත්වය නිර්මාණය කරන්න දායක වින බවත් පැහැදිලියි. කෙසේ වෙතත්, වහාබිවාදයේ වර්ධනය ගැන කිසිම සතුටක් නැති බොහෝ අයද මුල්සිම් ප්‍රජාව තුල වෙසෙන බවත් පැහැදිලියි. අසරණකම හෝ වෙන කුමන හෝ හේතුවක් නිසා හෝ ත්‍රස්ත ප්‍රහාරයට පෙර වහාබිවාදයට මේ බොහොමයක් එරෙහි නොවූ බවත් පැහැදිලියි. 

ඒ කෙසේ වෙතත්, මේ මොහොතේ සියලු මුස්ලිම් ජාතිකයින් ත්‍රස්තවාදීන් ට පක්ෂ යැයි සිතීම බරපතල වරදක් හැටියටයි මට පෙනෙන්නේ.  සියලු මුස්ලිම් ජාතිකයින් ගැන සැකයක් ඇති වීම අසාධාරණ වුවත් ඇති වී ඇති තත්ත්වය හමුවේ එසේ සැක කිරීම තේරුම් ගන්න පුළුවන්, මන්ද මෙය ආත්මාරක්ෂාව පිලිබඳ කාරණයක් බවට පත්ව ඇති නිසා. මේ වැනි අවස්ථාවලදී බිය සහ සැකය සාමාන්‍ය දෙයකි. ත්‍රස්තවාදියාට අවශ්‍ය පුංචිම පුංචි ඉඩක් බවත් ඇත්ත.  ආවේගයටත් පුංචිම පුංචි ඉඩක් වුවත් ප්‍රමාණවත් වුනත්, නොඉවසීම, අවිනය සහ විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල වගකීම් තමා වෙත පවරා ගැනීම විශාල ඛේදවාචකයන් ට ඉඩ සලස්වාදීමක් ද විය හැක. 

80 දශකයේ ජවිපෙට එකතු පිරිස් ජවිපෙට එකතුවුනේ මතවාදී කාරනා ඔස්සේම වුන නෙවෙයි. 60 දශකයේ නැත්තම් 70 දශකයේ මුල් භාගයේ ඉපදුනු පවට කෙනෙක් ජවිපෙ සාමාජිකයෙක් ලෙස සැකකර අතුරුදහන් කිරීමේ දැවැන්ත තර්ජනයක් ඇති බැවින් බොහෝ දෙනා ‘ශක්තියක් ඇති තැනකට’ තල්ලු වුනා. 80 දශකයේ දමිළ තරුණයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට නතු කර ගැනීමට ප්‍රභාකරන්ට හැකි වීමට ලොකුම හේතුවක් වුනෙත් එවැනිම බියක් ඒ අය තුල නිර්මාණය වීම මිස ඊලාම්වාදය වැළඳගත් නිසාම නෙවෙයි. 

එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් නිසා දැන් දැන් ත්‍රස්තවාදියා අමතක කරලා, තර්ජනය අමතක කරලා ඇති විය හැකි මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් පදනම් කරගෙන සිංහල බෞද්ධයින් ප්‍රධාන හතුරා කරලා අවලාද නගන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. ඒ ඔල්මාදයේ ප්‍රතිඵලයක් හැටියට සිංහල බෞද්ධයාද ‘ශක්තිය’ හොයාගෙන යන්න ඉඩ තියෙනවා. ආත්මාරක්ෂාව ගැන හිතන්න එයාලටත් සිද්ද වෙනවා. මුස්ලිම් දේශපාලකයින් වගේම පූජකයින් කඩු කිණිසි ගැන විකාර කතා කියද්දී, ආගමික නිදහසේ නාමයෙන් විකාර භාවිත් සාධාරණය කරද්දී වෙන ජන කොට්ටාශ වලට ‘ඉවසන්න,’ ‘හික්මෙන්න,’ වගේ දේවල් කියන එක විහිළුවක් වෙනවා.  ඔය විදිහට  සිංහල බෞද්ධයා බිත්තියට හේත්තු කරලා ව්‍යසනයකට අවශ්‍ය වාස්තවික තත්ත්වයන් නිර්මාණය කරන්න බැරි නැහැ.  ඒ නිසාත් සිංහල බෞද්ධයා තව තවත් පරිස්සම් වෙන්න ඕන.

පරණ කතාව ලියද්දි ඊටත් වැඩිය පරණ කතාවක් මතක් වුනා. කතාව මුලින් දැනගන්න ලැබුනේ ශේක්ස්පියර් ගේ ‘ජුලියස් සීසර්’ කියන නාට්‍යයෙන්. සීසර්ගේ ඝාතනයට අනතුරුව මාක් ඇන්ටනි විසින් ඝාතකයින්ට එරෙහිව පුරවැසියන් උසි ගැන්නුවා. කුපිත වූ පුරවැසියන් ඝාතකයින් සෙව්වේ එයාලව මරා දාන්න. එක් පිරිසකට සින්නා කියල කවියෙක් හමු වෙනවා. කවියා ගේ සම්පූර්ණ නම ගයියස් හෙල්වියස් සින්නා. සීසර්ට එරෙහි කුමන්ත්‍රණකරුවන් අතර ලුශියස් කොර්නේලියස් සින්නා කියල කෙනෙකුත් හිටියා. පිරිසයි සින්නායි අතර ඇති වූ කතාබහ ශේක්ස්පියර් නාට්‍යයේ ඉදිරිපත් කෙරුවේ මෙහෙමයි.

‘තමාගේ නම?’

‘සින්නා’

‘මූව කෑලි වලට ඉරා දමාපල්ලා. මූ කුමන්ත්‍රනකරුවෙක්!’

‘මම සින්නා නම් වූ කවියා! මම සින්නා නම් වූ කවියා!’

‘මුගෙ දුර්වල කවි නිසා කෑලි වලට ඉරා දමාපල්ලා!

‘සින්නා කියන කුමන්ත්‍රනකරුවා මම නෙවෙයි!’

‘ඒක අදාළ නැහැ. මුගේ නම සින්නා. ඒ නම උගේ පපුවෙන් ගලවලා දාපල්ලා.’

බිය කියන දේ භීතිකාවට පෙරලෙන්න වැඩි දෙයක් අවශ්‍ය නැහැ. වේදනාව ආවේගයට පහසුවෙන් පෙරළෙනවා. ආවේගය ට බ්‍රේක් නැහැ. ඉතාම සූක්ෂමව, සෑහෙන්න කාලයක් සැලසුම්කරලා ප්‍රහාර දියත් කරන ත්‍රස්තවාදීන් එහෙම මට්ටු කරන්න බැහැ. වෙන්නේ මිතුරන් දුරස්වන එක. දුරස්වන මිතුරෝ හතුරෝ බවට පත් වෙන එක. අවුල වියවුලක් වෙන එක.  

මතවාදී තලයේ පරාජය කල යුතු හතුරන් පරාජය කල යුතුයි. ඒකට කඩු කිණිසි බෝම්බ අවශ්‍ය නැහැ. මතවාදී සටන ට එන්නේ නැතුව ත්‍රස්තවාදය තෝරාගත් අයව තර්කයෙන් පරාජය කරන්න බැහැ. සැලසුමක් තියෙන්න ඕන. කැපවීමක් තියෙන්න ඕන. ආවේගය පැත්තකට දාන්න ඕන. ප්‍රඥාව ට මුල් තැන දෙන්න ඕන. හැම වෙලාවෙම අවදියෙන් ඉන්න ඕන. ආරක්ෂක අංශ වලට උදව් කරන්න ඕන. ආත්මාරක්ෂාව සඳහා අවි ගන්න සිදුවෙන අවස්ථා නැතුව නෙවෙයි. ඒ අවසාන ඔප්ෂන් එක. ඒක මුලින් තොර ගන්න එක වැරදියි. මෝඩයි. මුග්දයි. ව්‍යසනයක පරණ කතා අලුත් කරවයි. එවිට ජයග්‍රහණ ලබාගන්න සිද්ද වෙන්නේ ලොකු වන්දියක් ගෙවලා. තිස් වසරක යුද්ධයේ පාඩම මෙයයි.

මාලින්ද සෙනෙවිරත්න

Facebook Comments